ආනයනය කරන ලද මිලෙන් අඩු සහල් වර්ගයක්, බාස්මතී සහල් වශයෙන් ඇසුරුම් කොට වැඩි මිලට අලෙවි කිරීමට සූදානම් කරමින් තිබූ ගබඩාවක් වැටලූ පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් ඇසුරුම් කරන ලද සහල් උර 980 ක් අත් අඩංගුවට ගෙන ඇත.
පාරිභෝගික සේවා අධිකාරියේ ගම්පහ දිස්ත්රික් විමර්ශන ඒකකයට ලද තොරතුරක් මත වත්තල ප්රදේශයේ එම ගබඩාව වැටලූ අවස්ථාවේදී පකිස්ථානයෙන් ආනයනය කරන ලද කිලෝවක් රුපියල් 175 ක් පමණ වන සුදු සහල් වර්ගයක්, බාස්මතී සහල් නම්න් කිලෝවක් රුපියල් 500 ක පමණ මිලකට අලෙවි කිරීම පිනිස ඇසුරුම් කරමින් සිටි බව විමර්ශන ඒකකය පවසයි.
ආනයනය කරන ලද කිලෝ 50 කින් යුත් ඇසුරුම් , සහල් කිලෝ 25 බැගින් බාස්මතී යනුවෙන් ඇසුරුම් කරමින් වැඩි මිලට අලෙවි කිරීමට සකස් කරමින් සිට ඇත.
පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති නීතිඥ ශාන්ත නිරිඇල්ල සහ ගම්පහ දිසාපති සමන් දර්ශන පාඩිකෝරාල යන මහත්වරුන්ගේ උපදෙස් මත ගම්පහ දිස්ත්රික් විමර්ශන ඒකක ප්රධානී රංජිත් වීරවර්ධන මහතාගේ මෙහෙයවීම යටතේ මෙම වැටලීම සිදු කොට ඇති අතර සහල් තොගය නිලධාරීන් භාරයට ගෙන ඇත.
සහල් තොගයේ හිමිකරු සහ ගබඩා භාරකරු අත් අඩංගුවට ගෙන නියම කරනු ලබන දිනකදී වත්තල මහේස්ත්රාත් අධිකරණය හමුවේ පෙනී සිටීමට යටත්ව බැඳුම්කර ඇප මත මුදා හැර තිබේ.