රටේ පවතින කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් ඓතිහාසික රංගිරි දඹුලු රජමහ විහාරය සහ ශ්‍රී විෂ්ණු දේවාලය අද ( 18) දින පස්වරුවේ සිට නැවත දැනුම් දෙන තුරු දෙස් විදෙස් සංචාරකයන්ට වසා තබන තැබීමට තීරණය කර තිබේ.
රංගිරි දඹුලු රජමහා විහාර සහ ශ්‍රී විෂ්ණු දේවාල භාරකාර සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මාතලේ දිසාවේ උපප්‍රධාන සංඝනායක වලගම්බා පිරිවෙන් කෘත්‍යාධිකාරි මැද පන්සලේ විහාරාධිපති අඹගස්වැවේ ශ්‍රී රාහුල නාහිමියෝ මේ බව පැවසුහ .
සීගිරිය සහ අවට සංචාරක කලාප තාවකාලිකව වසා දැමීමත් සමග විශාල වශයෙන් විදේශීය සංචාරකයන් ඓතිහාසික රන්ගිරි දඹුලු රජ මහා විහාරස්ථානයට පැමිණෙමින් සිටි බවත් සමස්ත රටේ ජනතාවගේ ආරක්ෂාව සඳහා තම විහාරයේ සියලු විහාරස්ථානවල නායක ස්වාමීන් වහන්සේලා සහ විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා ඇතිව උපදේශකත්වය ඇතිව මෙම තීරණයට එළඹි බව උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කර සිටියහ.
ඓතිහාසිකව රන්ගිරි දඹුලු රජ මහා විහාරස්ථානය දෙස් විදෙස් ජනතාවට විවෘත කිරීම තාවකාලිකව නවතා දැමුවද ශ්‍රී විෂ්ණු දේවාලයේ සහ දඹුලු රජමහ විහාරයේ තේවාවන් කටයුතු නිසි පරිදි විහාර ගණයේ ස්වාමීන් වහන්සේලා විසින් සිදුකරගෙන යන බවද රාහුල නාහිමියෝ වැඩිදුරටත් කියා සිටියහ.
දඹුලු රජමහ විහාරය සහ විෂ්ණු දේවාලය නැවත විවෘත කරන දිනය ඉදිරියේදි දැනුම්දෙන බවද නාහිමියෝ වැඩිදුරටත් සඳහන් කර සිටියහ.