ආගම සංස්කෘතිය රැකගෙන ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා වසර 150 කටත් වඩා ඉපැරණි පෙරහරකට අලි දෙන ක්‍රමවේදය රජය සහ අලි හිමියන් ප්‍රතික්ෂේප කරයි නම් පෙරහර පැවැත්වීම ඉතාමත් අසීරු තත්ත්වයට පත්වන බව මැදිලිය රජමහ විහාරස්ථානයේ විහාරාධිපති ශාස්ත්‍රපති ඉලූග්ගොඩ ඤාණානන්ද හිමියෝ පැවසූහ. උන්වහන්සේ මේ බව වදාළේ, පෙරේදා (15දා) පැවැති ආගමික උත්සවයකදීය.
පෙරහරකට අලි නොමිලයේ ලබා නොදෙන බවත්, ඒ සඳහා එක් අලියෙකුට රුපියල් 50000ක් පමණ වැය කිරීමට සිදුව ඇති බවත් උන්වහන්සේ එහිදී පැවසූහ. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ස්වාමීන් වහන්සේ,
“ගාමිණී ජයවික්‍රම මහතා පුවත්පත් මගින් ඒ වාගේම විද්‍යුත් ජනමාධ්‍ය මගින් නිවේදන නිකුත් කරලා තිබෙනවා විහාරස්ථානවල පෙරහරවල් සඳහා පින්නවල සත්තු වත්තෙන් අලි ඇතුන් ලබාදෙනවා කියා. මමත් ඒ අනුව පෙරහරට ඉල්ලීමක් කළා අලි දෙන්නෙක් අවශ්‍යයි කියලා. නමුත් එතෙන්ට ගියාට පස්සේ කියන්නේ අලියෙකුට රුපියල් 33000 බඳින්න ඕනෑ. ප්‍රවාහන කටයුතු අපි සිද්ධ කරගන්න ඕනෑ කියලා. රඹුක්කන ඉඳන් මේ ස්ථානයට අලියා ප්‍රවාහනය කරගන්න රුපියල් 15,000ක් විතර යනවා. එතකොට මේ 33,000 සහ 15000 මුදලට අමතරව තවත් වියදම් යනවා. එහෙම බලපුවාම 50,000කට වඩා වැඩි මුදලක් මේ වෙනුවෙන් වියදම් වෙනවා.
මෙපමණ මුදලක් අපිට ගෙවා ගන්න බැහැ. අලි දෙන්නෙක් ගත්තොත් ලක්ෂයකට වඩා මුදලක් වියදම් වෙනවා. නමුත් ජනමාධ්‍යයෙන් කියන්නේ අලි නිකන් දෙන විදිහටයි. එහෙම කෙරෙන්නේ නැහැ කවදාවත්.
අපි මේ ස්ථානයට පෙරහර කරගෙන යන්න අලියෙක් ලබා දෙන්න කියලා රජයෙන් ඉල්ලුවා. ඒවා රජය මගින් කරන්නෙත් නැහැ. අලියෙක් හදන්න නඩත්තු කටයුතුවලට කෝටියක් විතර තියෙන්න ඕනෑ. ඒ තරම් මුදලක් මේ ස්ථානවලට ලැබෙන්නේ නැහැ. විශාල ආදායම් තිබෙන තැන්වලට නම් පුළුවන්.
මේ කරගෙන යන්නේ විහාරස්ථානවල පෙරහරවල් කරන එක අඩපණ කරලා මෙවා නැති කරන්න හදන එක. විහාරස්ථානවල සංස්කෘතික අංග පිරිහෙන තාලේ වැඩ සිදුනොකරන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිනවා. අලි අල්ලා ගන්න ඕනෑ තරම් පුළුවන්. විහාරස්ථානවලට අලියෙක් නඩත්තු කරන්න ඕනෑ තරම් පුළුවන් ක්‍රම තිබියදී මේ සිදුකරගෙන යන්නේ ප්‍රෝඩාවක්” යැයි පවසා සිටියහ.
මාවනැල්ල සමන් විජයබණ්ඩාර