පිළිකා උදම් රළකට ලෝකයම මුහුණ දෙමින් සිටින බවත්, ඇල්කොහොල් සහ සීනි භාවිතයේ සීමා පිළිබඳ වහ වහා අවධානය යොමු කළ යුතු බවත්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) විද්‍යාඥයන් අනතුරු ඇඟවීමක් කර තිබේ. එහි පුරෝකථනයන්ට අනුව වර්ෂ 2035 වනවිට ලොවපුරා පිළිකා රෝගීන් මිලියන 24ක් දක්වා වැඩිවනු ඇති අතර, මින් අඩකට වඩා වැඩි ප්‍රමාණයක් කලින් වළක්වා ගත හැකි පිළිකා තත්ත්වයන් බවද පෙන්වා දෙයි.
දුම්පානයෙන් හා මත්පැන් පානයෙන් මිදීම මෙන්ම, ස්ථුලතාවයට තිත තැබීමේ දැඩි අවශ්‍යතාවක් පිළිකා නිවාරණය සඳහා මේ මොහොතේ පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙයි.
එමෙන්ම පිළිකා තත්ත්වයන්ට හේතුවන ආහාර පුරුදු සම්බන්ධයෙන් තැතිගන්වන සුළු අවිදග්ධතාවක්ද ජනතාව අතර පවතින බව ලෝක පිළිකා පර්යේෂණ අරමුදල (WCRF) පවසයි.
වසරකට ලොවපුරා මිලියන 14ක ජනතාවක් පිළිකා රෝග සඳහා ප්‍රතිකාර ලබාගන්නා අතර, 2025 වනවිට එම අගය මිලියන 19ක්ද, 2030 වනවිට මිලියන 22ක්ද, 2035 වනවිට මිලියන 24ක්ද වනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පුරෝකථනය කරයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2014 ලෝක පිළිකා වාර්තාවට අනුව පිළිකා නිවාරණය කෙරෙහි බලපාන ප්‍රධාන හේතූන් මෙසේ පෙළගස්වා තිබේ.
1. දුම්පානය
2. ආසාදනයන්
3. ඇල්කොහොල් භාවිතය
4. ස්ථුලතාව හා අලසකම
6. විකිරණ (හිරැගේ සහ වෛද්‍ය ස්කෑන් පරීක්ෂණ)
7. වායු දූෂණය සහ අනෙකුත් පාරිසරික දූෂණයන්
8. විවාහ ප්‍රමාදවීම, දරුවන් වැදීම සීමා කිරීම හා මවු කිරි නොදීම
ලෝකයේ බොහෝ රටවල කාන්තාවන් මුහුණදෙන පොදු පිළිකා තත්ත්වයක් වන්නේ පියයුරු පිළිකාවයි. කෙසේ වෙතත් අප්‍රිකාවේ බොහෝ ප්‍රදේශවල ගැබ්ගෙළ පිළිකා තත්ත්වයන් උග්‍රව පවතින බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
2014 ලෝක පිළිකා වාර්තාවේ කතුවරයෙකු වන ඔස්ට්‍රේලියාවේ, නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය බර්නාඩ් ස්ටුවර්ට් පවසන්නේ, ලොව පුරා පැතිරෙන පිළිකා උදම් රළ සමග සටන් කිරීමේ තීරණාත්මක භූමිකාව රෝග නිවාරණය බවයි. එමෙන්ම, හිරු එළියට අනවශ්‍ය ලෙස නිරාවරණය වීමද පිළිකා තත්ත්වයන්ට හේතුවක් බව හෙතෙම පවසයි.
මෙහිදී ඇල්කොහොල් සම්බන්ධයෙන් කතා කිරීමේදී ඒ තුළින් ඇතිවිය හැකි රිය අනතුරු, පහරදීම් ආදී ඇසට පෙනෙන දේ ගැන කතා කළත්, ඇල්කොහොල් පානයෙන් ඇතිවන ඇසට හසු නොවන රෝගී තත්ත්වයන්, විශේෂයෙන්ම පිළිකා ගැන කතා නොකෙරෙන බව හෙතෙම වැඩිදුරටත් පවසයි.
'ඇල්කොහොල් පහසුවෙන් ලබාගැනීමට හැකිවීම, විවිධ ඇල්කොහොල් වර්ග හඳුන්වාදීම, ඇල්කොහොල් ප්‍රවර්ධනය කිරීම හා ඇල්කොහොල් මිල ආදී මේ සෑම දෙයක්ම න්‍යාය පත්‍රයේ තිබෙනවා.' යැයි වෛද්‍ය බර්නාඩ් ස්ටුවර්ට් පවසයි.
සීනි භාවිතයෙන් ඉන්ධන ලබා පිළිකා අවදානමක් ඇති කරන ස්ථුලතාව සම්බන්ධයෙන්ද එක හා සමාන තර්කයක් පවතින බවද හෙතෙම පෙන්වා දෙයි. පුද්ගලයන් 2,046 දෙනෙකු සම්බන්ධ කරගනිමින් මහා බ්‍රිතාන්‍යයේදී සිදුකළ සමීක්ෂණයක ප්‍රතිඵලයට අනුව, ආහාර පුරුදු පිළිකා ඇති කිරීමේ අවදානමක් ගෙනදෙන බව ඉන් 49 % ක පිරිසක් නොදැන සිටි බවද කියැවෙයි. එමෙන්ම, 10% ක පිරිසක් පවසා ඇත්තේ පිළිකාව යනු ජානමය බලපෑමක් තුළ ඇතිවන රෝගයක් බවයි. නමුත්, ජානමය බලපෑම් මත පිළිකා ඇතිවීම 10% කට වඩා අඩු බව ලෝක පිළිකා පර්යේෂණ අරමුදල (WCRF) පවසයි.