පිරිවෙන් ගුරුවරුන් බඳවා ගැනීමේදී නිසි ක්‍රමවේදයක් සකස් කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී විජේරත්න මහත්මිය පැවසීය.
2022 අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභ අවස්ථාවේ දෙවන දිනය සඳහා අද (24දා) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරිය මේ බව සඳහන් කළාය.
එමෙන්ම පිරිවෙන් අධ්‍යාපනය විදිමත් කළ යුකු බවත් එහිදී ඉංග්‍රීසි භාෂාව සහ ගණිතය පිළිබඳව වැඩි අවධානයක් යොමු කර සුදුසු පහසුකම් දීමට කටයුතු කරන ලෙස ඉල්ලීමක් කරන බවත් සඳහන් කළ රෝහිණී විජේරත්න මහත්මිය,
අපි දන්නවා මේ රජය බලයට ගේන්න ස්වාමීන් වහන්සේලා දැඩි කැපවීමක් කළා. අවසාන කාලයේ ධර්ම දේශනා වලත් ජනතාව මේ ආණ්ඩුව පිහිටුවාගන්න ඡන්දය දෙන්න ඔ්නී කියන එක නම්වා ගැනීමට අනුබල දෙන විදියේ ධර්ම දේශනා කළ ස්වාමීන් වහන්සේලාත අපිට දැකගන්න ලැබුනා. පසුගිය කෝවිඩ් වසංගතය හේතුවෙන් ආගමික පරිසරයට සිදු වුනු හානිය පිළිබඳ අපි මේ වෙලාවේ මතක් කරන්න ඔ්නී. ස්වාමීන් වහන්සේලාට කෝවිඩ් වසංගතය ආසාදනය වෙලා අපවත් වුනා. කොපමණ ස්වාමීන් වහන්සේලා ප්‍රමාණයක් එහෙම අපවත්වීමට ලක්වුනාද? ඒ අයට යහපාලන රජය යටතේ ලබා දුන් බුදුපුත් සුරක්ෂා රක්ෂණ ක්‍රමය යටතේ කොපමණ ප්‍රමාණයක් ප්රතිලාභ ලබා දුන්නාද කියලා මේ සභාවට දැනුම් දෙන්න.
ඊලගට පිරිවෙන් අධ්‍යාපනයේ ගැටලු ගණනාවක් තිබෙනවා. පිරිවෙන් ගුරුවරු ආසන්න වශයෙන් 7000ක් පමණ සිටිනවා. ඔවුන්ට ආපදා ණයක් ගන්න ගියත් ලොකු ගැටලු වලට මුහුණ දෙන්න සිදු වෙනවා. මොකද අමාත්‍යාංශයට මුදල් නිසි ලෙස වෙන් කරලා නැති නිසා. අනිත් කාරණය තමයි පිරිවෙන් ගුරුවරු ස්ථීර කරනකොට මේ ගුරුවරුන්ට අසාධාරණයක් සිදු වෙනවා සුදුසුකම් පරික්ෂා කරලා, පත්වීම් ලිපිය නිකුත් කිරීමේදී. ඒ නිසා පිරිවෙන් ගුරුවරුන් බඳවා ගැනීම සඳහා නිසි ක්රමවේදයක අවශ්‍යතාවය මම මේ අවස්ථාවේ පෙන්වා දෙන්න කැමතියි. ඒ වගේම පිරිවෙන් අධ්‍යාපනය විදිමත් කළ යුතුයි. විශේෂයෙන් එහිදී ඉංග්‍රීසි භාෂාව සහ ගණිතය පිළිබඳව වැඩි අවධානයක් යොමු කරලා සුදුසු පහසුකම් ලබා දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. යනුවෙන්ද සඳහන් කළේය.