ලංකා සීනි සමාගමට අයත් පැල්වත්ත සහ සෙවනගල සීනි කර්මාන්ත ආයතන වල සේවකයින්ට සහ උක්ගස් සපයන ගොවීන්ට සිංහල අලුත් අවුරුද්දට දිරිදීමනා ලබාදෙන බැව් ලංකා සීනි සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් සාරද සමරකෝන් මහතා පැවසීය.
2022 වර්ෂයේදී පැල්වත්ත සහ සෙවනගල ආයතන ලාබ ලබා ඇති බවත් ඒ සඳහා කැපවූ සේවකයින් හා උක්ගොවීන් ලබාදුන් දායකත්වය අගයමින් මෙලෙස දිරිදීමනා දීමට පාලනාධිකාරිය තීරණයකර තිබේ.
පැල්වත්ත සීනි කර්මාන්ත ආයතනයේ සේවයකරන ස්ථිර,අනියම් සහ කොන්ත්‍රාත් සේවක සේවිකාවන් 4,423 දෙනෙකුට එක් අයෙකුට රුපියල් 45,000 බැගින් ලබාදෙන අතර සෙවනගල ආයතනයේ සේවයකරන සේවක සේවිකාවන් 1,100 දෙනකුට එක් අයෙකුට රුපියල් 95,000 බැගින් දිරිදීමනා හිමිවේ.
කර්මාන්තශාලා දෙකට උක්ගස් සැපයූ සියලුම ගොවීන් වෙනුවෙන් සැපයූ උක්ටොන් එකක් වෙනුවෙන් රුපියල් තුන්සියයක දිරිදීමනාවක්ද ලබාදීමට නියමිතය.
පැල්වත්ත සීනි සමාගමේ සේවකයින් සඳහා දිරිදීමනා ලෙස රුපියල් දහනවකෝටි අනූලක්ෂ තිස්පන්දහසක්ද ගොවීන් සඳහා රුපියල් කෝටි පහක්ද සෙවනගල සීනිසමාගමේ සේවකයින් සඳහා දිරිදීමනා ලෙස රුපියල් දසකෝටි හතළිස්පන්ලක්ෂයක්ද ගොවීන් සඳහා රුපියල් කෝටි තුනක්ද මෙලෙස ලබාදේ.
2023 අප්‍රේල් මස තුන්වෙනි දින සේවකයින්ට සහ ගොවීන්ට දිරිදීමනා ලබාදෙන බැව් සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
මොනරාගල සුමනසිරි ගුණතිලක