වරකට නගන අතුරු ප්‍රශ්න සංඛ්‍යාව 3 සිට 2 දක්වා අඩු කිරීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් විරෝධය පෑමත් සමග ඊයේ (25දා) පාර්ලිමේන්තු කටයුතු උණුසුම් මුහුණුවරක් ගත්තේය.
කාලය ඉතිරි කරගැනීමේ අවශ්‍යතාව මත ප්‍රශ්න 3 ක් වෙනුවට ප්‍රශ්න 2 ක් පමණක් මතුකිරීමට අවස්ථාව ලබාදීමට නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි මහතා ගත් තීරණය නිසා මෙම තත්ත්වය මතුවිය.
පක්ෂ නායක රැස්වීමේදී ගත් තීන්දුවක් මත මෙම තීරණයට එළැඹි බවත්, මෙම තීරණය කාලය කළමනාකරණය කිරීමේ අවශ්‍යතාව මත ගත් බවත් නියෝජ්‍ය කථානායකවරයා පැවසීය.
ප්‍රශ්නයකට පිළිතුරු සැපයීමෙන් පසු ඊට අදාළව අතුරු ප්‍රශ්න 3 ක් නැගීමට මන්ත්‍රීන්ට අවස්ථාව හිමිවේ. කෙසේ නමුත් ඊට අදාළ කාලය ඉතිරි කිරීම සඳහා ඊයේ අතුරු ප්‍රශ්න සංඛ්‍යාව 2 දක්වා සීමාකළේය.
මෙහිදී තමාට ප්‍රශ්න 3 ක් ඇසීමට අවස්ථාව නොදීම සම්බන්ධව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා නියෝජ්‍ය කථානායකවරයාට දෝෂාරෝපණය කළේය. එම පක්ෂයේ අකිල විරාජ් කාරියවසම් හා නිරෝෂන් පෙරේරා යන මන්ත්‍රීවරුද මෙලෙස සිය විරෝධය පළකළහ.
තම සිත් රිදවීම් ඇති වුවද මූලාසනය දෙන තීන්දු පිළිගත යුතු බව දැක්වූ පක්ෂ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතා මෙහිදී ප්‍රකාශ කළේය.