පිදුරුතලාගල රක්ෂිතයට අයත් අධිසංවේදී පරිසර කලාපයක් වන ඇපල් ෆාම් ප්‍රදේශයේ ඉඩම් වගාකරුවන් හට බෙදාදීමට රජය සූදානම් වන බැවින්, එම කටයුත්ත වහාම නතර කරන ලෙස ඉල්ලමින් ලක් සොබා සංරක්ෂකයෝ සංවිධානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.
දේශපාලන අවශ්‍යතාවන් මත මෙලෙස එම ඉඩම් බෙදාදීමට කැබිනට් පත්‍රිකාවක් සූදානම් කරමින් පවතින බවද එම ලිපිය මගින් ජනාධිපතිවරයාට අවධාරණය කර ඇත.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිදුරුතලාගල රක්ෂිතයට අනුබද්ධ කුරුඳුඔය මුකලාන ආශ්‍රිතව අඩි 5,000ට ඉහළින් පිහිටා ඇති මෙම ප්‍රදේශය අධිසංවේදී පරිසර පද්ධතියක් වන බවත්, මෙම ඉඩම් සම්බන්ධයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පවරා ඇති නඩුවක්ද ඇති බවත් ඔවුන් ලිපිය මගින් ජනාධිපතිවරයාට දැනුම්දී ඇත.
මෙම ප්‍රදේශයේ ස්වභාවික වනාන්තර වලාකුළු මගින් නිපදවිය හැකි ජල ධාරිතාව කි.මීටර 860,000ක් පමණ වන බව ගණන් බලා ඇති බවත්, මෙම ඉඩම් පෞද්ගලික පරිහරණය සඳහා ලබාදීමෙන් දැවැන්ත පරිසර හානියක් සිදුවන බවත් ලක් සොබා පරිසර සංරක්ෂකයෝ සිය ලිපියේ සඳහන් කර තිබේ.
මෙම ඉඩම් බෙදාදීමට ගෙන ඇති තීරණය දේශපාලන තීරණයක් වන බැවින්, මේ සම්බන්ධයෙන් වහාම මැදිහත්වන ලෙසද ඔවුන් වැඩිදුරටත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.