කොළඹ වරාය නැගෙනහිර පර්යන්තයට රැගෙන ආ දොඹකර ගොඩබෑම ප්‍රමාද කිරීම හේතුවෙන් රුපියල් ලක්ෂ හාරසිය අසූවකට ආසන්න මුදලක් ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුව තිබෙන බව සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය සඳහන් කරයි.
ආණ්ඩුවේ පිරිසක් විසින් දොඹකර ගොඩබෑම ප්‍රමාද කළ බැවින් අදාළ ප්‍රමාද ගාස්තු වහාම ආණ්ඩුවෙන් ගෙවිය යුතු බවත්, එසේ නොමැතිව වරාය අධිකාරියට එම බර දැරීමට නොහැකි බවත් එම සංගමයේ ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි මහගමගේ මහතා පැවසීය.
එසේම කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සවිකිරීම සඳහා දොඹකර තුනක් පසුගිය විසිවැනි දින වරායට රැගෙන ආ බවත්, එහෙත් එම දොඹකර අද (30දා) දිනය වනතෙක් ගොඩ බෑමට ඉඩ ලබා නොදුන් බවත් ඒ මහතා පවසා සිටියේය.
මේ සඳහා ආණ්ඩුවේ පිරිස් බලපෑම් කර තිබෙන බවත්, පවතින ක්‍රම‘වේදවලට අනුව වරායට නැවක් පැමිණි පසු දින හතක් තුළ භාණ්ඩ ගොඩ බෑමට නොහැකි වුවහොත් එතැන් පටන් දිනකට රුපියල් ලක්ෂ අසූවකට ආසන්න මුදලක් ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුවන බවත් ඒ මහතා සඳහන් කළේය.
ඒ අනුව දොඹකර රැගෙන ආ නැවට දින හයක ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුව තිබෙන බවත්, අදාළ මුදල ආණ්ඩුවෙන් ගෙවිය යුතු බවත් චන්ද්‍රසිරි මහගමගේ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.