රටේ ප්‍රශ්න ධනවාදී ක්‍රමයට අනුව පමණක් හෝ සමාජවාදී ක්‍රමයට අනුව පමණක් විසඳිය නොහැකි බවත් ඒ සඳහා ජාතික න්‍යාය පත්‍රයක් අවශ්‍ය බවත් නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ඒ මහතා මේ බව පවසා සිටයේ නිවාස 25කින් සමනවිත 72 වැනි ආදර්ශ ගම්මානය ලෙස දිඹුලාගල නවමිල්ලාන ප්‍රදේශයේ ඉදිකෙරුණු ‘ලෙන්සිතුවම්ගම‘ නිවාසලාභින්ගේ අයිතියට පත් කිරීමේ උත්සවයට ඊයේ (26දා) එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“රජයක් හැටියට අපි ධනවාදය තුළින් ධනය උපයලා සමාජවාදය හරහා සුභසාධන රාජ්‍ය හරහා සම්පත් බෙදීයාම ක්‍රියාත්මක කළ යුතුයි. මේක තමයි අපේ රටේ ක්‍රියාත්මක කළ යුතු ජාතික න්‍යාය පත්‍රය. කවුරුහරි හිතනවා නම්, රටේ ප්‍රශ්න ධනවාදීව පමණ විසඳන්න පුළුවන් කියලා ඒ මිත්‍යාවක්. කවුරුහරි හිතනවා නම් රටේ ප්‍රශ්න සමාජවාදීව විසඳන්න පුළුවන් කියලා ඒකත් බොරුවක්.
මේ රට තුළ විවිධ බල රටාවන් තියෙනවා. සමාජ බල, ධන බලය, පවුල් බලය තියෙනවා. ඒ බලපුළුවන්කාරකම් තුළ අපට බෑ ජාතික න්‍යාය පත්‍රය හදන්න. ඒ අනුව ජාතික න්‍යාය පත්‍රය යනවා බලවතුන්ගේ පැත්තට, ධනවතුන්ගේ පැත්තට ඇති-හැකි මනුස්සයාගේ පැත්තට, එහෙම එකක් සිදු වෙන්න බැහැ. ජාතික න්‍යාය පත්‍රය හදන කොට අපි බලන්න ඕන රටේ අසරණ පුරවැසි බහුතරය ගැන. බහුතරයක් මේ රටේ නිහඬ වුණත් ඒ අයට ලැබිලා තියෙනවා සර්වජන ඡන්ද බලය. ඡන්ද බලයෙන් ඒ අයට පුළුවන් ඒ අයගේ බලපුළුවන්කාරකම පෙන්වන්න. පොඩි මනුස්සයාගේ හඬට සවන් නොදෙන කොට තමයි ජනබලය විකෘති වෙන්නේ. සමහරු නින්දෙන් නැගිටලා වගේ අහනවා අපි පැරදුණාද කියලා. අපි පසුබෑවා නේද කියලා. ඒ ගැන අමුතුවෙන් හිතන්න දෙයක් නැහැ. අර පොඩි මිනිහාගේ හඬට සවන් නොදී න්‍යාය පත්‍රයක් සකස් වෙන කොට අනිවාර්යයෙන් පරදිනවා.“ යැයි පැවසීය.
මනම්පිටිය - නිමල් ජයරත්න