දූෂිතයන්ට දඬුවම් දීම සම්බන්ධයෙන් වත්මන් රජය දුන් පොරොන්දු ගැන ජනතාව අසන ප්‍රශ්නවලට පිළිතුරු දීමට නොහැකිව ඇතැයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, නගර සංවර්ධන හා ජල සම්පත් අමාත්‍ය රවුෆ් හකීම් මහතා පැවසීය.
හෙතෙම මේ බව පැවසුවේ ඊයේ (07දා) සවස මහනුවර, පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැති ශ්‍රී ලංකා මුස්ලිම් කෝංග්රසයේ 26 වන වාර්ෂික නියෝජිත සම්මේලනයේදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
" ජනවාරි අටවැනිදා එතෙක් පැවැති රජය පරාජයට පත්කරමින් නව යහපාලන රජය බලයට පත්කළ ජනතාව අපේක්ෂා කළේ දූෂිතයන්ට දඬුවම් ලබාදී රට යහමගට ගෙන ජනතාවගේ බලාපොරොත්තු ඉටුකරනු ඇති බවයි. නමුත් දැන් ඒ ගැන ජනතාව අසන ප්‍රශ්නවලට අපට උත්තර දෙන්නවත් බැරි තත්ත්වයක් ඇති වෙලා තියෙනවා.
රටට නරක දේවල් සිදුවීම වසරකට පමණ පෙර සිට අවසන් වුවද, හොඳ දේ සිදුවීම යහපාලනයේදීවත් තවමත් ආරම්භ වී නොමැති බව විදෙස් තානාපතිවරුන් ප්‍රශ්න කරනවා. ඒ කතාවේ විශාල ඇත්තක් තියෙන බවත් විශාල තේරුමක් තියෙන බවත් අපට වැටහෙනවා. මේ වනවිට එක් සිද්ධියක් සම්බන්ධයෙන් අමතර කැබිනට් රැස්වීමක් පවා කැඳවීමට සිදුවී තිබෙනවා" යැයි පැවසීය.
මොහොමඩ් ආසික්