HIV ආසාදිත සහ ඒඩ්ස් නැමැති සමාජ රෝගය වැළඳී ඇති බව චෝදනා කරමින් මව පියා නොමැතිව ජීවත්වන එකම පවුලේ දියණියන් හයදෙනෙකු ප්‍රදේශයෙන් පාසලෙන් කොන් කර දමා තිබෙන බවත් දියණියන් හය දෙනාට සමාජයෙන් සාධාරණය ඉටු කර දෙන්නැයි හඬා වැටෙමින් එම දියණියෝ ඉල්ලා සිටින්නී ය.
ගලේවෙල අලුත්ගම නිරන්ගමුව ප්‍රදේශයේ පදිංචි මෙම දියණියන් හයදෙනා සමාජ අසාධාරණයකට ලක්ව සියදිවි හානිකර ගැනීමට උත්සාහ දරමින් සිටියදී දඹුල්ල රෝහලේ වෛද්‍යවරයෙකු විසින් මෙම දියණියන් හයදෙනා පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කිරීම විශේෂත්වයකි.
පාසල් වියේ පසුවන දියණියන් තිදෙනෙකු මෙම පවුලේ සිටින අතර තිදෙනාම විද්‍යාලයෙන් ගුරුවරුන් විසින් ඉවත් කොට තිබෙන බව ඔවුන් හඬා වැටෙමින් පැවසුවාය.
ළිඳකින් වතුර ටිකක් ලබාගැනීමට වෙළඳසැලකින් භාණ්ඩයක් මිලදී ගැනීමට ත්‍රිරෝද රථයකින් කුලී ගමනක් යෑමට සහ කිසිදු සමාජය ඉදිරියට පැමිණීමට නොහැකි තත්ත්වයටම කොන් කර දමා තිබෙන මෙම දියණියන් හයදෙනා දැඩි මානසික පීඩනයකින් ජීවත් වන බවත් දියණියෝ පවසති .
මෙම දියණියන් සොයා ගලේවෙල අලුත්ගම නීරංගමුව පිහිටි ඔවුන්ගේ නිවස සොයා ගිය ගමනයි මේ.
මෙම දියණියන් හය දෙනා සහ එක් දියණියකගේ කුඩා දරුවෙකු සමඟ දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ කුඩා කාමරයක තනිව ජීවත් වේ.
මෙම දියණියන් ගේ පියා මීට වසර කිහිපයකට ඉහතදී ළිඳකට වැටීමෙන් මියගොස් තිබේ .මව විදේශගත වී දරුවන් පෝෂණය කිරීමේ කටයුත්ත සිදුකරන බව දියණියෝ පවසති.
මෙම පවුලේ දෙවැනි දියණිය වන ශලනි පියතිස්ස මීට වසර කිහිපයකට ඉහත දී පවුල ජීවත් කිරීම සඳහා විදේශ රටක සේවය සඳහා ගොස් තිබෙන බවත් පසුව ඇය මීට මාස නවයකට ඉහත දී නැවත මෙරටට පැමිණ ඇත්තේ ඇයගේ සිරුරේ සමේ රෝගයක් ඇති වීම නිසාවෙන් බව පැවසේ .
එම රෝගයට ප්‍රතිකාර කිරීම සිදු කරමින් සිටියදී ඔවුන්ගේ මව දරුවන් ජීවත් කිරීම සඳහා ගෘහ සේවය සඳහා විදේශගතවී තිබේ. පාසල් වියේ පසුවන දිනිති මදුෂිකා වයස අවුරුදු දාහතරකි .දිලිනි කෟෂල්‍යා වයස අවුරුදු 13 . කිත්මි හිමායා වයස අවුරුදු අටකි. මෙම තිදෙනාම ගලේවෙල අලුත්ගම නිරංගමුව විද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටියාය. මේ තිදෙනාම මේ වනවිට පාසලෙන් ඉවත්කොට ඉගෙනිමක් නොමැතිව නිවසට වී සිටි .
ශලනි ප්‍රේමතිලක 24 හැවරැදි දෙවැනි දියණිය සමේ ඇති වූ රෝගයට ප්‍රතිකාර ගැනීම නිසා ගම පුරා පැතිර ගොස් ඇත්තේ ඇයට එච්අයිවී ආසාදිත වී ඒඩ්ස් තත්ත්වයට පත් ව අනෙකුත් සහෝදරියන් සියලු දෙනාටම එය බෝවී තිබෙන බවය. මාස කිහිපයක් මේ කටකතාව නිසා ඔවුන් දැඩි අසීරුතාවකට පත් වෙමින් සිටින බව මෙම පිරිස කියති.
වැඩිමහල් දීයණිය චිත්‍රා කුමාරි 27 හැවිරිදිය ඇය විවාහවී එක දරුවෙකුද සිටින්නීය. මෙම කටකතාව පැතිර යෑමත් සමග ඇයගේ සැමියාද දරුවාද දමා හැර ගිය බව ඇය හැඬූ කඳුළින් පැවසුවාය.
මේ වනවිට සමේ රෝගී තත්වය සඳහා දඹුල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවත් එය සමාන්‍ය හොඳ කර ගැනීමේ හැකියාව පවතින සමේ රෝගයක් බව වෛද්‍යවරුන් පවසති. එහෙත් සමාජයෙන් මෙම දියණියන්ට ලබාදී ඇති බරපතළ දඬුවම බවට පත්ව ඇත්තේ දියණියන් තිදෙනෙකු පාසලෙන් ඉවත් කිරිමය. අධ්‍යාපනයක් නොමැතිව නිවසේ රැඳවීමය. එමෙන්ම ප්‍රදේශයේ වෙළඳසැලකින් භාණ්ඩයක් ලබා නොදීම ය. ළිඳකින් වතුර ලබාගැනීමට නොදීමය. කිසිදු අයකු ඔවුන් සමග කතා නොකර සිටීමය. අඩුම තරමේ වාහනයකවත් මෙම පිරිස ගොඩවීමට ඉඩ නොදීම ය. මෙම තත්ත්වය ඉවසා ගැනීමට නොහැකිව දෙවැනි දියණිය දිවි හානිකර ගැනීමට උත්සාහ කොට තිබිණි. වෛද්‍යවරුන්ගේ දක්ෂතාවය මත ඇය ජීවත් වීමට වාසනාව උදා කරගෙන තිබිණි.
මෙම දියණියන් හයදෙනා සහ කුඩා දරුවෙකු තවදුරටත් මෙම සමාජ අසාධාරණයට ලක්වීම නිසා කුඩා නිවස තුළ එකට මියැදීමට කතිකා කර ගත් බව ඔවුන් හඬා වැටෙමින් කියති .මෙතරම් දියුණු සමාජයක කටකතාවක් හේතුවෙන් මුළු පවුලක් අසරණව සිටීම පිළිබඳව සමාජයේ අවධානය යොමුකර සාධාරණය ඉෂ්ට කර දෙන්නැයි මෙම දියණියෝ හඬා වැටෙමින් ඉල්ලා සිටින්නීය.
මෙම දරුවන් පාසලෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් නිරන්ගමුව ප්‍රාථමික විදුහලේ විදුහල්පති ජනක කිත්සිරි මහතාගෙන් විමසීමේදී මෙසේ පැවසීය.
"ඒ දරුවන් තුන් දෙනාගේ අක්කා කෙනෙක් රට ඉදල ඇවිල්ල තියෙනවා. එයාට යම්කිසි රෝගි තත්ත්වයක් තියෙනවා කියලා අපිට ආරංචි වුණා. ඒ වගේම ඒක අනිත් ළමයින්ට පැතිර යයි කියන අවදානම හින්දා මම එයාලට කිව්වා ප්‍රතිකාර ලබාගෙන පසුව විද්‍යාලයට එන්න කියලා. හැබැයි මම ඒ අයට ඒඩ්ස් තියෙනවා කියලා කිව්වේ නෑ මොකද මම එහෙම දැනුම් දුන්නේ පි එච් අයි මහත්තයාටත් කියලා"
මේ පිළිබඳව දඹුල්ල මූලික රෝහලේ රෝග පිළිබඳව විශේෂඥ වෛද්‍ය සුදර්ශනී මහත්මියගෙන් විමසීමේදී කියා සිටියේ මෙම දරුවන් ප්‍රතිකාර සඳහා පැමිණි බවත් එම අයගේ සමේ රෝගයක් පවතින බවය. පෞද්ගලිකව මෙම දරුවන්ට සමාජයෙන් සිදුව ඇති හානි පිළිබඳව තමාව දැනුවත් කළ බව ද වෛද්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.
දීර්ඝ ප්‍රතිකාර ලබාදීමෙන් මෙම රෝගී තත්ත්වය සුව කළ හැකි බවත් නිවැරදිව වෛද්‍ය උපදෙස් පරිදි ප්‍රතිකාර ලබාගත යුතු බවද ඇය සඳහන් කළාය.
සමාජය තුළ පැතිර ගිය කටකතා හේතුවෙන් එම රෝගීන්ගේ පෞද්ගලිකත්වයට විශාල හානියක් සිදු වී තිබෙන බවත් තමන් එවැනි කාටහෝ පෙන්වීම සඳහා සිංහල භාෂාවෙන්ම වෙනත් සමාජ රෝගයක් නොව මෙය සමාන්‍ය සමේ රෝගයක් බවට සහතික කොට ලිපියක් ලබා දුන් බවද වෛද්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.
රෝගීන්ට වෛද්‍යවරුන්ගේ උපරිම සහයෝගය ලැබෙන අවස්ථාවක සමාජය රෝගීන්ව අපහසුතාවයට පත් නොකළ යුතු බවද වෛද්‍යවරිය සඳහන් කළාය.
දඹුල්ල - කාංචන කුමාර ආරියදාස