රියැදුරු නොමැතිව තම වෑන් රථය කුලියට ලබා දී, රථය ලබා ගත් පුද්ගලයන් ගමන් කරන ස්ථානය ජී.පී.එස් තාක්ෂණය ඔස්සේ නිරීක්ෂණය කරමින් ඔවුන් පසු පස හඹා ගොස්, වන්දනා කටයුත්තකට රථයේ පිරිස බැස ගිය පසු වෑන් රථය සොරකම් කළ එම රථයේ හිමිකරු ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු ඊයේ(22දා) අත්අඩංගුවට ගත් බව ගල්නෑව පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ නබඩගහවැව, ගලේවෙල ප්රදේශයේ, සහ කුරුණෑගල රිදීගම ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 26, 27, සහ 30 වන වියේ පසුවන මුස්ලිම් ජාතික පුද්ගලයන් තිදෙනකු බව පොලිසිය කියයි.
වෑන් රථය කුලියට ලබා ගත් පුද්ගලයන් එම රථයේ අගුළු දමා යතුර රැගෙන බැස ගිය අවස්ථාවේදී ස්ථානයට පැමිණි සැකකරුවන්, තමන් සතුව තිබූ අනෙක් යතුර භාවිතා කරමින් රථයේ දොරගුලු විවෘත කර එය එය පැහැර ගෙන ගොස් තිබූ බව සැකකරුවන්ගෙන් සිදු කළ ප්රශ්න කිරීම් වලදී අනාවරණය වූ බව පොලීසිය කියයි.
මාතලේ මඩවලඋල්පත සිට පවුලේ ඥාතීන් පිරිසක් සමඟ කුලී පදනම මත ලබා ගත් වෑන් රථයකින් වන්දනාවේ පැමිණි පුද්ගලයකු සිදු කළ පැමිණිල්ලකට අනුව විමර්ශනයක් සිදු කර සැකකරුවන් සහ වෑන් රථය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.
අවුකන රජමහා විහාරස්ථානයේ රථ ගාලේ නවතා අගුළු දමා තිබියදී පසුගිය 20 දා දහවල් එකට පමණ එම වෑන් රථය සොරකම් කර ගෙන ගොස් ඇති බවට මෙම පැමිණිල්ල ලැබී තිබූ බව පොලිසිය කියයි.