ශ්‍රී ලංකාව සිය සියලු ණය ආපසු ගෙවීමට කැපවී සිටින බවත් ඉදිරි මාස හය තුළ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
“ඉන්දියාව දැනටමත් මූල්‍ය සහතික කිරීම් පොරොන්දු වීමත් සමඟ මේ මාසයේ හොඳ ප්‍රගතියක් ඇති වී තිබෙනවා. අපි ඉක්මනින්ම චීනයෙන් සහ ජපානයෙන් සහතික බලාපොරොත්තු වෙනවා” යැයි වීරසිංහ මහතා “ආර්ථික ඉදිරි දැක්ම 2023” උත්සවයට එක්වෙමින් පැවැසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ඩොලර් බිලියන 2.9 ක විස්තීරණ මූල්‍ය පහසුකම් ලබාැනීම වෙනුවෙන් කටයුතු කරමින් සිටින ශ්‍රී ලංකාවට එය සාර්ථක කර ගැනීමට නම් ශ්‍රී ලංකාවේ විශාලම ද්විපාර්ශ්වීය ණය හිමියන් වන චීනයෙන් හා ඉන්දියාවෙන් මූල්‍ය සහතික අවශ්‍ය වෙයි.
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්මට දැඩි ලෙස සහාය දෙන බව ඉන්දියාව පසුගිය සතියේ IMF වෙත ප්‍රකාශ කළේය.
"IMF වැඩසටහන ක්‍රියාත්මකවීමෙන් පසු අපි වාණිජ සහ ද්විපාර්ශ්වික ණය දෙන්නන් සමඟ නිශ්චිත ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ආරම්භ කරනවා" යැයි ඔහු පැවැසීය.
“මෙම ක්‍රියාවලිය මාස හයකින් අවසන් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. විශාලතම අවිනිශ්චිතතාවය වන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කාල සීමාවයි. ශ්‍රී ලංකාවට තිරසාර වර්ධන මාවතකට ආපසු යා හැක්කේ ණය තිරසාර බව සහතික වීමෙන් පසුවයි,” ඔහු වැඩිදුරටත් පැවසීය.
පැරිස් ක්ලබ් ණය දෙන රටවල් සහ අනෙකුත් ණය දෙන්නන් සමඟ කළ සාකච්ඡාවලදී හොඳ ප්‍රගතියක් ඇති වී ඇති බව වීරසිංහ මහතා පැවසීය.
දේශීය වශයෙන් ගත් කල, පොලී අනුපාත අඩු කිරීම සඳහා දේශීය බැංකු සමඟ සාකච්ඡා සිදුවෙමින් පවතින නමුත් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවිනිශ්චිතතාවයක් ලෙස පවතින බව ඔහු පැවසීය.