තමන් පාක්ෂිකයන් පාලනය කරගෙන ඉන්නේ එහෙත් ඉවසීමේ සීමාවක් තිබෙනවා
විශිෂ්ට දේශපාලන ලක්ෂණ පෙන්නුම් කළ මන්ත්‍රී රුවන්ට යළි යොවුන් පෙරමුණ පිරිනැමුවා
නියෝජ්‍ය සභාපති වෙමින් උපරිම ශක්තිය දෙනවා
ඉන්දික හේවාවිතාරණ/ඡායාරූප: ශමීර රාජපක්ෂ
තමන් ළඟ සිටින කණ්ඩායම් පාලනය කිරීමට නොහැකි නම් තමන් නියම නායකයකු නොවන බවත් ඩිලාන් පෙරේරා ඇමතිවරයා තමන් ළඟ සිටින කණ්ඩායම් පාලනය කර ගැනීමට අපොහොසත් වන්නේ නම් එය විශාල අඩුපාඩුවක් ලෙස තමන් දකින බවත් එක්සත් ජාතික පක්ෂයෙන් ඌව පළාත් සභාවට තේරීපත් වූ මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා පවසා සිටියේය.
බදුල්ල දිස්ත්‍රික්කය තුළ භීෂණයක් පතුරුවමින්, එක්සත් ජාතික පක්ෂ පාක්ෂිකයන්ට පහරදෙමින් තර්ජනය කරමින් සිටින බවත්, ප්‍රශ්නයක් තිබෙනවා නම් අහිංසක මිනිසුන්ට පහරනොදී තමා සමග ප්රශ්නය විසඳාගන්නා ලෙසත් හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
බදුල්ල දිස්ත්‍රික්කය තුළ පතුරවමින් තිබෙන භීෂණකාරී තත්ත්වය නිසා තම පාක්ෂිකයන් 16 දෙනෙකුට රෝහල්ගත වන්නට සිදු වී තිබෙන බවත්, ඉන් හයදෙනෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් ඒ මහතා පවසා සිටියේය.
ඊයේ (24දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ හරින් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කළේ ඡන්ද විමසීම අවසන් වී දින 07 ක් යනතුරු පෙළපාළි පැවැත්වීම මැතිවරණ නීතිරීතිවලට අනුව තහනම් වුවද ආණ්ඩු පක්ෂයේ මනාප 20,000 - 30,000 ගත් අපේක්ෂකයන් පවා ප්‍රසිද්ධියේ පෙළපාළි ගිය බවයි.
එහෙත් ඒ පිළිබඳව මැතිවරණ කොමසාරිස්වරයා කිසිදු අවධානයක් යොමු නොකරන බවත්, පොලීසිය පවා නීතිය ක්‍රියාත්මක කිරීම ආරම්භ කළේ බදුල්ලේ ජනතාව පොලීසියට සිදුකළ බලපෑම මත බවත් ඔහු පවසා සිටියේය.
මේ නිසා සියලු දෙනාම එකතු වී බදුල්ල දිස්ත්‍රික්කය තුළ ඇති වී තිබෙන භීෂණකාරී තත්ත්වය පාලනය කිරීමට කටයුතු කළයුතු බවත්, ආණ්ඩු පක්ෂයේ පිරිස් තම පාක්ෂිකයන් පාලනය කරගන්නවා සේම කොළඹින් බදුල්ලට ගෙනැවිත් සිටින මැරයන්ද පාලනය කරගත යුතු බව මෙම පහරදීම්වලට සම්බන්ධ වන්නට ඇත්තේ ඩිලාන් පෙරේරා කොළඹ සිට ගෙන්වන ලද කණ්ඩායමක් බව විශ්වාස කළ හැකි බවද හරින් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
තමා බදුල්ල දිස්ත්‍රික් පාක්ෂිකයන් පාලනය කරගෙන සිටින බවත්, එහෙත් ඉවසීමේ සීමාවක් තිබෙන බවත් ඔහු පවසා සිටියේය.
දැන් තිබෙන්නේ භීෂණය පතුරුවමින් අහිංසක ජනතාව තලා පෙළා දැමීම නොව සියලු දෙනා එකතු වී ඌව පළාත් ජනතාවගේ සුභසාධනය වෙනුවෙන් වැඩ කටයුතු කිරීම බවද ඔහු සඳහන් කළේය.
බදුල්ල ආසනය පරාජයට පත්වූවත් නිමල් සිරිපාල ඇමතිවරයා එය නිහතමානීව පිළිගෙන පාක්ෂිකයන්ට පහර නොදෙන බවත් එවැනි ආදර්ශයක් ආණ්ඩුවේ අනික් ඇමතිවරුත් ලබා ගත යුතු බවද හරීන් ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේය.
එහෙත් පරාජය ඉවසාගත නොහැකිව ආණ්ඩු පක්ෂයේ පිරිස් සිදුකරන මෙම කටයුතුවලට ඉදිරි මැතිවරණවලදී පිළිතුරු දීම අනිවාර්ය බවද හරින් ප්‍රනාන්දු මහතා කියා සිටියේය.
එමෙන්ම විශිෂ්ට දේශපාලන ලක්ෂණ පෙන්නුම් කරමින් ජාතික යොවුන් පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මහතා ඔහු සතු සභාපති තනතුර තමන්ට පිරිනැමීමට කටයුතු කළ බවත්, එහෙත් තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග සේ යළිත් වතාවක් එම තනතුර රුවන් විජේවර්ධන මහතාටම පිරිනැමූ බවත් හරින් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
ඡායාරූප: ශමීර රාජපක්ෂ