කුරුණෑගල ශික්ෂණ රෝහලේ සීටී ස්කෑන් යන්ත්‍රය අක්‍රීය වීම හේතුවෙන් ප්‍රතිකාර ලැබීමට පැමිණෙන රෝගින් විශාල පිරිසක් දැඩි අසීරුතාවයට පත්ව සිටින බව වාර්තාවේ.
මේවනවිට මාසයකට අධික කාලයක සිට මෙම යන්ත්‍රය අක්‍රීව පවතින අතර මේ හේතුවෙන් සීටී ස්කෑන් වාර්තා ලබා ගැනීම සඳහා අසාධ්‍ය තත්වයේ සිටින රෝගින් මහනුවර ශික්ෂණ රෝහලට සහ කෑගල්ල මහ රෝහලට යැවීමට රෝහල් බලධාරීන්ට සිදුව ඇත.
ඇතැම් රෝගින් සිය කැමැත්තෙන්ම කුරුණෑගල පිහිටි පෞද්ගලික රෝහල් වලින් මෙම ප්‍රතිකාර සේවාව ලබා ගැනීමට යන බවද එවැනි වාර්තාවක් සඳහා රුපියල් දස දහසේ සිට රුපියල් හැත්තෑපන්දහසක පමණ අධික මුදලක් වැය කිරීමට සිදුව ඇති බවද කියයි.
නමුත් එම රෝහල් තමන්ගේ රෝහලේ ප්‍රතිකාර ලබන රෝගින්ට ප්‍රමුඛත්වය ලබා දීම නිසා කුරුණෑගල ශික්ෂණ රෝහලෙන් යැවෙන රෝගින්ගේ වාර්තා ලැබීම ප්‍රමාද වන බවද වාර්තාවේ.
හදිසි අනතුරු වලට ලක්ව හදිසි සැත්කම් සඳහා සීටී ස්කෑන් වාර්තා අවශ්‍ය වන රෝගින් මෙම තත්ත්වය හේතුවෙන් දැඩි අවදානමකට මුහුණ පා සිටින අතර එසේ අසාධ්‍ය තත්ත්වයෙන් පසුවූ රෝගින් කීප දෙනෙකුම සීටී ස්කෑන් වාර්තා ලබා ගැනීම සඳහා මහනුවරට රැගෙන යමින් සිටියදී අවාසනාවන්ත ලෙස අතරමඟදී මිය යෑමේ සිද්ධීන්ද මේවනවිට වාර්තාවී තිබේ.
මීට පෙර අවස්ථාවක මෙම යන්ත්‍රය අක්‍රීයවූ අවස්ථාවේදී එහි නඩත්තු කටයුතු බාර දේශීය සමාගම විසින් ජපානයෙන් ඉක්මණින් අමතර කොටස් ගෙන්වා එය යථා තත්ත්වයට පත් කළද මෙවර එහි අළුත්වැඩියාව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරු අංශයෙන් මෙතෙක් අනුමැතිය ලැබී නොමැති බව රෝහල් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.
ඩොලර් හිඟය මේ සඳහා බලපා ඇති බවද යන්ත්‍රයේ අළුත්වැඩියාව සඳහා රුපියල් කෝටියකට ආසන්න මුදලක් වැය විය හැකි බවද පැවසේ.
කුරුණෑගල ශික්ෂණ රෝහලේ විකිරණවේදී කාර්ය මණ්ඩලය මෙම යන්ත්‍රය ක්‍රියාත්මකව පවතින කාලයේදී දවසේ පැය විසි හතරේ සේවා මුරය බෙදා ගනිමින් දිනකට විවිධ වර්ගයේ සීටී ස්කෑන් වාර්තා සීයකට ආසන්න ප්‍රමාණයක් ලබා දීමට සමත්වූ අතර එම සේවාව රෝගින්ගේ ප්‍රශංසාවටද ලක් වූහ.