ඉබෝලාවට එරෙහි සටනට එක්වෙමින්, සුපිරි පාපන්දු ක්‍රීඩක ඩේවිඩ් බෙකම් පවසන්නේ කාලයට එරෙහි තරගයට මුහුණ දෙමින් අදෘශ්‍යමාන සතුරාට මර්දනයට සූදානම් වන ලෙසයි.
වීඩියෝ පණිවුඩයක් හරහා සියෙරා ලියෝන් වැසියන් ආමන්ත්‍රණය කරන බෙකම් මේ මාරාන්තික රෝගය පාලනය කිරීම සඳහා නිවැරදි පිළිවෙත් අනුගමනය කිරීමට පෙළ ගැසෙන ලෙස ඉල්ලා සිටියි.
දරුවන් සිවු දෙනෙකුගේ පියෙකු වූ බෙකම් පවසන්නේ මීට වසර 6කට පෙර සියෙරා ලියෝන් සංචාරයේදී තමන්ට උණුසුම් පිළිගැනීමක් ලැබුණු බවයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධිත යුන්සෙෆ් සංවිධානයේ තානාපතිවරයෙකු ලෙස කටයුතු කරන බෙකම්ගේ පණිවුඩය දැනටමත් වැඩි දෙනෙකු ආකර්ෂණය කර ඇති බවද වාර්තා වෙයි.
එමෙන්ම, තවත් වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් බෙකම් පවසන්නේ බටහිර අප්‍රිකාවේ පැතිර යන ඉබෝලා වසංගතය පාලනය කිරීම වෙනුවෙන් ලොව පුරා ජනතාවගෙන් අරමුදල් යුනිසෙෆ් වෙත අවශ්‍ය බවයි.
කළු වර්ණයෙන් යුතු යුනිසෙෆ් ටී-ෂර්ට් එකකින් සැරසී සිය පණිවුඩය ඉදිරිපත් කරන 39 හැවිරිදි බෙකම්, සිවිල් යුද්ධයක් නිසා දැඩි අර්බුද රැසකට මුහුණ දී සිටි ඒ අසිරිමත් සියෙරා ලියෝන් ජනතාව තමන්ට මහත් ලෙංගතුකමක් හා ගෞරවයක් දැක්වූ බව සිහිපත් කරයි.
"අද සියෙරා ලියෝන්හි ධෛර්වයත් ජනතාව අදෘශ්‍යමාන හතුරෙකුට මුහුණ දී සිටිනවා. මේ වනවිට ඉබෝලා පිටුදැකීම වෙනුවෙන් යුනිසෙෆ් සංවිධානය ඔබේ බිමේ දැවැන්ත කාර්යභාරයක් සිදුකරමින් සිටිනවා.
මෙහි සතුටුදායක කාරණය වන්නේ ඔබ නිසි පිළිවෙත් හා වගකීමකින් කටයුතු කළහොත් ඉබෝලා පැතිරීම වැළැක්විය හැකි වීමයි.
ඒ නිසා, ඉබෝලා පැතිරීම වැළැක්වීම වෙනුවෙන් වූ උපදෙස් නිරන්තරයෙන් ඉගෙන ඒවා පිළිපදින අතර, ඔබ්ත ඔබේ පවුලේ අයත් ආරක්ෂා කරගන්න. අපි එක්ව කටයුතු කළොත් මෙය මැඩපැවැත්විය හැකියි. අපි දැන්ම අරඹමු." යැයි බෙකම් පවසයි.
එමෙන්ම, බෙකම් ලෝක වාසී සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඉබෝලා වෙනුවෙන් සටන් වැදීමට යුනිසෙෆ් වෙත ආධාර කරන ලෙසයි.
"මේ වනවිට බටහිර අප්‍රිකාවේ මිලියන ගණනක් ජනතාව මරාන්තික වසංගතය අභිමුවෙහි සිටින බව අවධාරණය කළ යුතුයි. තම දරුවා රෝගාතුර වී උදව් කිරීමට නොහැකි තත්ත්වයක පසුවන තත්ත්වයක් පියෙකු ලෙස කෙසේ නම් එය වාවාගන්නද?
නමුත්, ඔබට ඒ වෙනුවෙන් කළ හැකි යමක් ඇති බව මගේ අදහසයි. යුනිසෙෆ් මේ වනවිටත් භූමියේ සිටින නිසාත්, ඔවුන් පැය 24ම නිරන්තරයෙන් ඒ වෙනුවෙන් වැඩ කරන් නිසාත්, ඔබේ ආධාර යුනිසෙෆ් වෙත ලබාදෙන්න. අපි නිරතව සිටින්නේ කාලයට එරෙහි සටනක බව අමතක නොකරන්න." යැයි බෙකම් පවසයි.