ශ්‍රී ලංකාවේ උතුරු පළාත ඇතුළු ධීවර සංවිධාන නායකයන් හා ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ධීවර සංවිධාන නායකයන් අතර දෙවැනි වටයේ සාකච්ඡා ලබන 12 වැනි දින කොළඹදී ආරම්භ කරන බව ධීවර අමාත්‍යාංශය පවසයි.
මේ දෙවැනි වටයේ සාකච්ඡා පසුගිය මාර්තු 13 වැනි දින පැවැත්වීමට නියමිතව තිබුණු නමුත්, තමිල්නාඩු බලධාරින්ගේ ගැටලු සහගත තත්ත්වයන් නිසා මේ සාකච්ඡා අවලංගු කෙරුණි. ඉන් පසුව යළිත් වරක් තමිල්නාඩු ධීවර සංවිධානවල ඉල්ලීම මත සාකච්ඡා සඳහා පසුගිය මාර්තු 27 වැනිදාට දින නියම කෙරුණි. නමුත් තමිල්නාඩු ධීවර සංවිධාන නොපැමිණිම නිසා යළිත් වරක් එම සාකච්ඡා ද අවලංගු කෙරුණි.
ඉන්දියානු මධ්‍යම රජය තමිල්නාඩු - ශ්‍රී ලංකා ධීවර සංවිධාන සාකච්ඡා සඳහා මැයි මස 12 හෝ 13 යන දිනවලින් එක් දිනක් ලබාදෙන ලෙස කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය මගින් ඉල්ලා සිටි අතර, ඒ අනුව මැයි 12 වැනි දිනය ලබාදීමට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවට උපදෙස් දෙනු ලැබීය. මේ අනුව එදින සාකච්ඡා පැවැත්වීමට තීරණය කළ බව එම අමාත්‍යාංශය පවසයි.
පසුගිය ජනවාරි 27දා ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි හි පැවති පළමු සාකච්ඡාවලින් පසුව ඇති කරගත් එකඟතාවන් හි සාර්ථකත්වය මෙහිදි සාකච්ඡා කෙරෙනු ඇති බව ධීවර අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.