ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇෆ්ගනිස්ථානයේ ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ආචාර්ය අශ්රෆ් ඝානී අහමඩ්සායි මහතා වෙත සුභාශිංසන එක් කරමින් පණිවුඩයක් යවා තිබේ.
එහිදී, නව ජනාධිපතිතුවරයාගේ ධුර කාලය සාර්ථක වේවායි ප්‍රාර්ථනය කර ඇති රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා රජය සහ ජනතාවද අහමඩ්සායි මහතාට සුභාශිංස පුද කිරීමට තමා සමග එක්වන බව සඳහන් කර තිබේ.
“ඔබතුමා ගරු කටයුතු ජනාධිපති ධුරය; දේශපාලන, ආර්ථික හා ශාස්ත්‍රීය ක්ෂේත්රවල මහත් දැනුම් සම්භාරයකින් පොහොසත් කරයි. ඇෆ්ගනිස්ථානයට ස්ථාවරත්වය උදා කිරීමේ ක්‍රියාවලිය සමග ඔබේ දිගුකාලීන සබඳතාව සහ ප්රජාතන්ත්රවාදයට ඔබේ ඇති කැපවීම ඔබ රටේ ඉතිහාසයෙහි මේ වැදගත් සන්ධිස්ථානයේ දී ඇෆ්ගනිස්ථානයට මහඟු වත්කමක් වනු නිසැකයි. පොදු සංස්කෘතික උරුමයකින්, මිත්‍රත්වයේ ශක්තිමත් සාම්ප්‍රදායික බැමිවලින් සහ අන්‍යෝන්‍ය සුහදතාවෙන් බැඳී සිටින ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර අතිශය උණුසුම් සබඳතා පවතියි.” යනුවෙන් ජනාධිපතිවරයා ආචාර්ය අහමඩ්සායි මහතා වෙත යැවූ පණිවිඩයෙන් කියා සිටී.
සාක් සංවිධානය ඇතුළත සහ අන්තර්ජාතික වේදිකාවල එක්ව වැඩ කිරීම මෑත කාලයේ දී වර්ධනය වූ බව සිහිපත් කරන ජනාධිපතිවරයා දෙරට අතර සබඳතා තවත් පුළුල් කරනු පිණිස ඇෆ්ගනිස්ථාන නව ජනාධිපතිතුමා සමග සමීප සහයෝගයෙන් වැඩ කිරීමට අපේක්ෂාව පළ කරන බවද එහි වැඩිදුරටත් කියා සිටී.