ඇළ මාර්ග වෙත කසළ බැහැර කිරීම වහා නැවැත්විය යුතු බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා පවසයි. කොළඹ නගරය ලෝකයේ වෙළෙඳ නගර අතර ප්‍රධාන ස්ථානයක් ගත්තද, එය වැසි දිනට අපායක් බවට පත්වෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
කොළඹ නගරයේ බිම් මට්ටමේ සංවර්ධන කටයුතු පිළිබඳ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් දැක්වීය.
“කොළඹ නගරය කියන්නේ ලෝකයේ වෙළෙඳ නගර අතර ප්‍රධාන ස්ථානයක්. ඒක අපට උරුම වුණේ ඉතා ඈත අතීතයක ඉඳලා. ඒ අභිමානවත් වෙළෙඳ නගරය වැසි දිනකට අපායක් බවට පත්වෙනවා. ඒකට හේතුව වැසි ජලය ඉවත් කිරීමට සකස් කර ඇති නළ පද්ධතිය, කානු සහ ඇළ මාර්ග කුණුවලින් පිරිලා.
නිසි ආකාරයෙන් කසළ බැහැර කිරීමක් සිදුනොකොට ජලමාර්ග වෙත කසළ බැහැර කිරීම හරහා දුක්විඳින්න සිදුවෙන්නේ බිම් මට්ටමේ ජනතාවට. පසුගිය කාලපරිච්ඡේදය පුරා කොළඹ නගරයේ ජනතාව වැසි දවස්වල පුදුම විදිහට පීඩාවට පත්වුණා. ටික දෙනෙක් කරන වැඩ නිසා විශාල සංඛ්‍යාවක් අසරණ වෙනවා.
ඒ වගේම මෙවැනි දේ නිසා යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වාගෙන යන්න බැරිවෙලා තියෙනවා. ඒ නිසා මම මේ කොළඹ නගරයේ වෙසෙන සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ නිවසේ එකතු වෙන කසළ විධිමත්ව බැහැර කරන්න කියලා” යැයි අමාත්‍යවරයා පවසා සිටියේය.