අරන්තලාවේදී භික්ෂු වහන්සේලා 31 නමක් ඉතා අමානුෂික අන්දමින් ඝාතනය කිරීමට සම්බන්ධවී දැනට ජීවතුන් අතර සිටින ත්රස්තවාදීන්ට එරෙහිව වහාම පරීක්ෂණයක් සිදුකරන්නැයි ඉල්ලමින් එම භික්ෂු වහන්සේලා අතර සිට දිවි ගලවාගත් භික්ෂු වහන්සේ නමක් ශ්‍රේෂ්ඨාධිකරණයට අද (30) මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළහ.
මෙම ත්‍රස්ත ප්‍රහාරයෙන් තමන්ට සිදුවු හානි සඳහා රුපියල් කෝටි දෙකක වන්දියක් ලබාදෙන්නැයිද පෙත්සම්කාර ආදා උල්පත බුද්ධසාර හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියහ.
ආදා උල්පත බුද්ධසාර හිමියන් ඉදිරිපත් කළ මෙම මුලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නීතිපතිවරයා, වැඩබලන පොලිස්පතිවරයා සහ රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂකවරයා නම් කොට ඇත.
1987 වසරේ ජූලි මස 02 වනදා කොටි ත්‍රස්තවාදින් විසින් අරන්තලාව ප්‍රදේශයේදී එල්ල කළ ප්‍රහාරයකින් භික්ෂූන් වහන්සේලා 31 නමක් අපවත් වී තවත් සිවිල් වැසියන් පිරිසක් ද මිය ගිය බව පෙත්සම්කාර බුද්ධසාර හිමියන් සිය පෙත්සමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්හ.
එම ප්‍රහාරයෙන් අපවත් වු භික්ෂූන් වහන්සේලා 31 නම සමඟ තමන්ද සිටි බවත් ත්‍රස්ත ප්‍රහාරයෙන් තමන්ට බරපතල තුවාල සිදුවු නමුත් තමන්ගේ ජීවිතය බේරුණු බවත් සඳහන් කරන පෙත්සම්කාර ආදා උල්පත බුද්ධසාර හිමියන් මෙම අපරාධයට සම්බන්ධවු ත්‍රස්තවාදින් ගණනාවක් තවමත් ජීවතුන් අතර සිටින නමුත් ඔවුන්ට එරෙහිව මෙතෙක් නීතිය ක්‍රියාත්මක වී නොමැති බවද අධිකරණයට පෙන්වා දුන්හ.
එහෙයින් මෙම අපරාධයට සම්බන්ධවී තවමත් ජීවතුන් අතර සිටින ත්රස්තවාදීන්ට එරෙහිව වහා නීතිය ක්‍රියාත්මක ලෙස වැඩ බලන පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නියම කරන්නැයි ඉල්ලා සිටින උන්වහන්සේ මෙම ප්‍රහාරයෙන් සිය මුලික අයිතිවාසිකම් උල්ලංඝණය වීම හේතූවෙන් තමන්ට රුපියල් කෝටි දෙකක වන්දියක් අයකර දෙන්නැයිද ඉල්ලා සිටිති.