2015 වසරට අදාළ අයවැය යෝජනා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ලබන 24 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
අයවැය ලේඛනය හෙවත් විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය සඳහා වෙන්කර තිබූ දින ගණන වැඩිකිරීමට අද (10දා) පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබේ.
ඒ අනුව අයවැය දෙවැනි වර කියවීමේ විවාදය මේ මස 25 වැනිදා ආරම්භ වන අතර, එය නොවැම්බර් 01 දින දක්වා දින 7ක් පැවැත්වෙයි. දෙවැනි වර කියැවීමේ ඡන්ද විමසීම එදින පස්වරු 5.00ට පැවැත්වෙනු ඇති අතර, සෙනසුරාදා දින 04ක්ද අයවැය විවාදය සඳහා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.
අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 03 වැනිදා ආරම්භ කරනු ඇති අතර, එම විවාදය නොවැම්බර් 24 වැනි දින දක්වා පැවැත් වීමට නියමිතය. අයවැය තුන් වැනි වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 24 දින පස්වරු 5.00ට පැවැත්වීමට නියමිතය.
2015 වසර වෙනුවෙන් රජයේ ආදායම් සහ වියදම් ඇස්තමේන්තු ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත පසුගිය 26 වැනිදා අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.