Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා
2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා
ව්‍යාපාරයේ ගුණාත්මකභාවය පිළිබඳ වගේම පාරිභෝගිකයාට විශ්වාසවන්ත නිෂ්පාදනයක් ලබාදීමේ කටයුත්ත පිළිබඳව ඔබ මොකද සිතන්නේ?
කිසිදු රසායනික ද්‍රව්‍යයක් භාවිත නොකර කාබනික පොහොර භාවිතයෙන් සකස් කළ එළවළු හා පලතුරුවලින් තමයි අපේ නිෂ්පාදන සියල්ල සකස් කරන්නේ. අපි කිසිම විටෙක කෘත්‍රිම රසකාරකයන්, වර්ණකයන් භාවිත කරන්නේ නැහැ. අපේ නිෂ්පාදනවල සැබෑ ලෙසම පලතුරු හා එළවළු පැහැයක් දකින්නට තිබෙනවා. ස්වාභාවික රසය සෑම අයුරින්ම ආරක්ෂා කර ගැනීමට අපි උත්සාහ කරනවා. අනෙක් කාරණය තමයි අපි කල්තබා ගැනීමේ කිසිදු ද්‍රව්‍යයක් භාවිත කරන්නේ නැහැ. විශේෂයෙන්ම ශරීරයට හිතකර දේවල්වලින් අප මේ නිෂ්පාදන කරනවා මිසක ශරීරයට අහිතකර දේවල් භාවිත කිරීම අප කිසිවිටෙකත් අනුමත කරන්නේ නැහැ.
2013 වර්ෂයේදී මම මෙය පටන් ගත්තේ නිෂ්පාදන දෙකකින්. ලංකාවේ මුල්ම වතාවට මම කෝමාරිකා ජෙලි එකක් හැදුවා. ඒ වගේම කෙසෙල් මුවවලින් %චිලි බිලි^ යන නමින් බැදුමක් පිළියෙල කළා. ඒ වගේ නිෂ්පාදන දෙකකින් ව්‍යාපාරය පටන් ගත්තත් අද වෙනකොට මම වර්ග පනස් දෙකක පමණ නිෂ්පාදනයන් සිදුකරනවා.
විශේෂයෙන්ම දේශීය එළවළු හා පලතුරුවලට අපි මූලිකත්වයක් ලබාදෙනවා. සාමාන්‍යයෙන් කවුරුත් වැඩියෙන් නොසිතන බිලිං, මාදං, කාමරංගා, නෙල්ලි වගේ දේවල්වලින් පවා මම නිෂ්පාදන සිදුකරලා තිබෙනවා. ලංකාව තුළ නෙල්ලිවලින් ස්වාභාවික පලතුරු පානයක් පළමු වතාවට බෝතල් කළේ මමයි. මම දැනට කෝඩියල් වර්ග, ජෑම්, චට්නි, සෝස්, චිලී පේස්ට්, හාල්මැස්සෝ බැදුම්, මාළු ඇඹුල්තියල්, ඉස්සෝ බැදුම්, අච්චාරු වගේ නිෂ්පාදන රැසක් සිදුකරනවා.
නෙල්ලි, අනෝදා, කටු අනෝදා, මාදං, වෙරළු වගේ දේවල් 100%ක් කාබනික පොහොර භාවිතයෙන් හටගත් ඒවා කියලා අපි දන්නවා. ඒවාට කෘත්‍රිම පොහොර යෙදීමක් සිදු වෙන්නේ නැහැ.
කටු අනෝදාවලට මිනිස්සුන්ගේ ලොකු කැමැත්තක් තිබෙනවා. වෙරළු පානයන්ට පාරිභෝගිකයන්ගෙන් හොඳ ඉල්ලුමක් තිබෙනවා. වෙරළු වගේ දේවල් පොහොර දාලා හදන ඒවා නොවන නිසා එහි ගුණාත්මකභාවය ගැන සහතික වෙන්න පුළුවන්. ඒ වගේම මාදං කෝඩියල් එකත් ලංකාවේ පළමු වතාවට නිෂ්පාදනය කළේ මම.
ඔබ නිෂ්පාදනය කරන ඇතැම් නිෂ්පාදන සඳහා අවශ්‍ය වන මාදං වගේ පලතුරු සොයා ගැනීමට තරමක් අපහසුයි. කොහොමද එවැනි පලතුරු ඔබේ නිෂ්පාදනයට ප්‍රමාණවත් අයුරින් ලබාගන්නේ?
අගෝස්තු මාසය පටන් අරගෙන ජනවාරි මාසයේ අන්තිම වෙනකම් වගේ මාදම් තිබෙනවා. අම්පාර, තණමල්විල, අනුරාධපුරය, පුත්තලම වගේ ප්‍රදේශවලින් ඒ කාලය තුළ අපට මාදං ගෙනැවිත් දෙනවා. ඇත්තෙන්ම මාදං හොයාගන්න ටිකක් අමාරුයි. නමුත් මාදං හැදෙන කාලයට නම් මාදං හොයාගන්න අපහසුවක් නැහැ. දැනට ලෝකයේ තිබෙන පලතුරුවලින් ප්‍රතිඔක්සිකාරක තිබෙන පලතුරක් ලෙසින් මාදං හඳුන්වන්නට පුළුවන්.
දැනට මගේ නිෂ්පාදන සඳහා කෝමාරිකා පමණක් වගා කරනවා. අනෙකුත් නිෂ්පාදන සඳහා එළවළු සියල්ල ලබාගන්නේ කාබනික එළවළු වගා කරන්නන්ගෙන්. විවිධ ප්‍රදේශවල සිටින මෙවැනි සහතිකලත් ගොවීන්ගෙන් අපි එළවළු ලබාගැනීම සිදු කරනවා. ඒ වගේම සෞඛ්‍ය අාරක්ෂිතව වගා කරන ගොවීන්ගෙනුත් මිලදී ගැනීම සිදුකරනවා.
පලතුරක හෝ එළවළුවක අන්තර්ගත විටමින් වර්ග මොනවාද, ඒවායේ පෝෂණීය ගුණයන් මොනවාද කියලා මට යම් තරමක අවබෝධයක් තිබෙනවා. මම ගෘහ ආර්ථික විද්‍යාව උගන්වන ගුරුවරියක වශයෙන්ද ටික කාලයක් සේවය කරලා තිබුණ නිසාත්, හිත ඇතුළේ තිබුණ ආශාව නිසාත් මේ වගේ ව්‍යාපාරයක් ආරම්භ කිරීමට මුල පිරුවේ.
2012 වර්ෂයේ ආහාර පිළිබඳ පැවැති ප්‍රදර්ශනයකට සහභාගි වීම සඳහා මම ඉල්ලීමක් කරාට පසුව ඔවුන් නිෂ්පාදන ප්‍රදර්ශනය කරන්න ඒ ප්‍රදර්ශනයේ ස්ථානයක් වෙන් කරලා දුන්නා. නමුත් මට ඒ වෙනකොට තිබුණේ කෝමාරිකාවලින් හදපු ජෙලි එකයි, කෙසෙල් මුවවලින් පිළියෙල කළ බැදුමයි විතරයි. මට ඒ පිළිබඳ අාශාවක් තිබූ නමුත් අත්දැකීමක් නොතිබුණ නිසා ලොකුවට සැරසිලි කරලා තිබුණේත් නැහැ. නමුත් ඒ ඉදිරිපත් වීම තුළ විශාල පිරිසක් මාව දිරිමත් කළා. කෝමාරිකා වුණත් ගැස්ට්‍රයිටීස්වලට ඉතා හොඳ දෙයක්. රුව වගේම සමේ පැහැපත්භාවය සඳහාත් කෝමාරිකා ඉතාම වැදගත්. බොහෝ අය කියන්නේ දියවැඩියා රෝගය හා පිළිකා සඳහා මෙය ඉතා ගුණ ඖෂධයක් බවයි. ඒ නිසා ප්‍රදර්ශනයට සහභාගි වූ වැඩි පිරිසකගේ ඉහළ පිළිගැනීමක් හා ඇගයීමක් ඒ සඳහා හිමිවුණා. ඉන්පසුව මම ඒ නිෂ්පාදන දෙක මුලින්ම වෙළඳ පොළට ඇතුළු කළා. ඒ සෑම අලෙවි සැලක්ම වසවිස නැති, සෞඛ්යාරක්ෂිත ලේබලයේ පිහිටි අලෙවි සැල්.
දැන් වුණත් වෙනත් රටවලට ආනයනය කිරීම සඳහා ඇණවුම් පැමිණෙනවා. ඒ නිසා මම ඉදිරි මාසයක් වැනි කාලයක් තුළදී ඒ සඳහා මගේ ව්‍යාපාරය දියුණු කිරීමට අපේක්ෂා කරනවා. මට කැනඩාවෙන් ලොකු ඇණවුමක් ඇවිත් තිබෙනවා. මාලදිවයින සමග එක් වරක් පමණ වෙළෙඳාම් කරලා තියෙනවා. දැනට මගේ හිතුවතුන් කිහිපදෙනෙකුගේ මාර්ගයෙන් ඇණවුම් රැසක්ම ලැබිලා තිබෙනවා මේ වර්ෂයේ පැවැති %ට්රෙඩ්මේඩ්^ ආයුර්වේද ප්‍රදර්ශනයේදී ඇමෙරිකාවේ සිට පැමිණි වෛද්‍යවරියක් මට ලොකු ඇණවුමක් ලබාදුන්නා.
ව්‍යාපාරයක් ආරම්භ කරන ඕනෑම කෙනෙකුට මුලින්ම පැමිණෙන්නේ මූල්‍යමය ගැටලුව. මේ ව්‍යාපාරය ආරම්භ කරන්න අවශ්‍ය දැනුම මගේ ළඟ තිබුණා. ඊට අවශ්‍ය තාක්ෂණය පමණයි මම මෙහිදී භාවිතයට ගත්තේ. මේ හැම නිෂ්පාදනයකම අයිතිකාරයා මම. ඒ වගේම අලුත් අලුත් නිෂ්පාදන සකස් කරන නිර්මාණාත්මකභාවය තිබුණේ මා තුළමයි. මට කාගේවත් දෙයක් හොරකම් කරලා නිෂ්පාදනයක් කිරීමට අවශ්‍ය වුණේ නැහැ. ඒ නිසා මේ හැම දෙයක්ම මගේ අත්දැකීම් හා මහන්සියෙන් සකස් කළ දේවල්.
මගේ ව්‍යාපාරය දියුණු කරන්න මම ණය ගන්න ගියේ නැහැ. මම ව්යාපාරයෙන්මයි පොඩ්ඩ පොඩ්ඩ දියුණු වුණේ. අතේ තියෙන මුදල්වලින් පොඩියට තමයි මේක ආරම්භ කළේ. මම කිසිවිටෙකත් ව්‍යාපාරය ආරම්භ කරන්න වුණත් ණයක් ගන්න යොමු වුණේ නැහැ.
අනෙක් කාරණය නම් කර්මාන්තයක් ආරම්භ කරනකොට ඒ සඳහා වෙළෙඳ පොළක් සකස් කිරීම ඉතා අපහසු කාර්යයක්. නමුත් මට ඒ පිළිබඳ කිසිම බාධාවක් ඇතිවුණේ නැහැ. මගේ නිෂ්පාදන රස බලන ඕනෑම කෙනෙකුට එහි ඇති ස්වාභාවික හා ගුණාත්මකභාවය ගැන වැටහීමක් ඇති වෙනවා. ඒ නිසා එය ව්‍යාපාරය සඳහා පහසුවෙන් වෙළෙඳ පොළ සකස් කර ගැනීමට ඒ හැකියාව හේතුවක් වුණා.
අපි කරන ව්‍යාපාරය අවංකවම, විධිමත් ප්‍රමිතියකින් යුතුව සිදු කරනවා නම් මම හිතනවා අනිවාර්යයෙන් ඒ ව්‍යාපාරයෙන් ඉදිරියට යන්න පුළුවන් කියලා. අපි සකස් කරන ඕනෑම නිෂ්පාදනයක් හරිම ආදරයෙන් හා කැමැත්තෙන් කරන්න ඕන. ඒ වගේම ඒ සඳහා ඉලක්කයක් තිබීමට අවශ්‍යයි.
මම දැනට මගේ නිෂ්පාදන බෙදා හරින්නේ කොළඹ අවට පමණයි. ඒ වගේම නුවර ප්‍රදේශය තුළත් මගේ නිෂ්පාදන බෙදා හැරීමට මේ වන විටත් සැලසුම් කරලා තිබෙන්නේ. මගේ ප්‍රධාන ඉලක්කය තමයි ප්‍රධාන නගරවල මගේ නිෂ්පාදන සහිත වෙළෙඳ සැල් එක බැගින් හෝ විවෘත කිරීම. මම එය මෑතකදීම වත්තල ප්‍රදේශයෙන් ආරම්භ කිරීමට අපේක්ෂා කරනවා.
රජයෙන් ලැබෙන සහයෝගය හොඳයි. නමුත් එය කියන තරමටම කෙරෙනවාද යන්න ප්‍රශ්නයක්. ව්‍යවසායකයන්ට අවශ්‍ය පොඩි පොඩි පහසුකම් රජය මගින් ලබාදෙනවා. නමුත් මම නම් කියන්නේ මේ සම්බන්ධව වැඩි අවධානයක් රජය යොමු කළ යුතු බවයි.
කිසියම් ව්‍යවසායකයෙකු ඉස්සරහට එනවා කියලා දැනෙනවා නම් මීට වඩා ඒ ව්‍යවසායකයන්ට උදව් කිරීමට අවශ්‍යයි. ව්‍යවසායකයන්ට ලබාදෙන ණය පහසුකම් වුවත් වැඩි පොලියක් යටතේ නොව සහනදායී පොලියක් යටතේ ලබාදීමට හැකි වුවහොත් එය ප්රගතිශිලී දෙයක්.
මම දැකලා තිබෙනවා ණය ගන්නා අවස්ථාවලදී බොහෝ අසාධාරණකම් සිද්ධ වෙනවා. ඇත්තෙන්ම ණයක් ගන්නේ සමහරවිට අවශ්‍යම කෙනා නෙමෙයි. දැන් තිබෙන බදු ක්‍රමයත් එක්ක ආදායමෙන් 24෴ක් රජයට ගන්නවා කියන්නේ සමහරවිට අපි වගේ අයට එය මුළු ලාභයම වෙන්න පුළුවන්.
අපි නිෂ්පාදනය කරන්නේ 100%ක් සෞඛ්යාරක්ෂිත නිෂ්පාදන වුණත්, වෙළෙඳ පොළේ දැන් රසකාරක, වර්ණකාරක යොදා ඇති නිෂ්පාදනවලින් ඒවාට යම් අභියෝගයක් එල්ල වී තිබෙනවා. එවැනි රසකාරක දැමූ දේවල් ඇත්තෙන්ම කෘත්‍රිම ඒවා යැයි හඳුනාගන්නත් අපහසුයි. ඒ නිසා පාරිභෝගිකයා නිෂ්පාදනයක් මිලදී ගැනීමේදී ඊ අංක නොමැති හෝ ඊ අංක අඩු ප්‍රමාණයක් තිබෙන නිෂ්පාදන මිලදී ගැනීමට යොමු වෙන්න ඕන. නිෂ්පාදනයට කෘත්‍රිමව එක්වන සෑම දෙයකටම %ඊ^ අංකයක් ලැබෙනවා. ඇතැම් ඒවා පිළිකාකාරකයි. නමුත් වැඩි දෙනාට මේ පිළිබඳ අවබෝධයක් නැහැ. වෙළෙඳ පොළ තුළ තිබෙන බහුජාතික මෙවැනි නිෂ්පාදන සමාගම් හා තරග කිරීමට ඇත්තෙන්ම අපි වගේ කුඩා හා මධ්‍ය පරිමාණ නිෂ්පාදනකරුවන්ට තරමත් අපහසු දෙයක්.
මගේ පුතා තමයි මම එක්ක එකතු වෙලා මේ ව්‍යාපාර කටයුතු සිදුකරන්නේ. මට දැනට ස්ථීරව සේවය කරන්න ඉන්නේ සේවකයන් දෙන්නයි. නමුත් මට ලැබෙන ඇණවුමේ ප්‍රමාණය මත තාවකාලිකව වැඩකිරීම සඳහා සේවකයන් අරගන්නවා. ඇත්තෙන්ම එසේ කිරීම මට ලාභදායී දෙයක්.
මීළඟට දේශීය වෙළෙඳ පොළ පමණක් නෙමෙයි විදේශීය වෙළෙද පොළ ඉලක්ක කරගෙන මගේ නිෂ්පාදන ක්‍රියාවලිය දියුණු කිරීමට මම අපේක්ෂා කරනවා. ඒ වගේම ඉතා හොඳ ප්‍රමිතියෙන් පරිසර හිතකාමී අයුරින් මේ සඳහා යෝග්‍ය කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමටත් අපේක්ෂා කරනවා. විදුලිබලය ලබාගැනීමට සූර්යකෝෂ භාවිතයට ගෙන විදේශිකයෙකුට වුවත් එවලේම නෙළාගත් වසවිසෙන් තොර පලතුරු, එළවළුවලින් සකස් කළ නිෂ්පාදන භුක්ති විඳීමේ අවස්ථාව උදාකිරීම මගේ එක හීනයක්.
ඒ වගේම අපි දැනට ඉතා සුළු වශයෙනුයි වගා කටයුතු කරන්නේ. නමුත් ඉදිරියේදී සම්පූර්ණයෙන්ම කාබනික පොහොර යොදා ඒ වගා කටයුතු තවත් පුළුල් කිරීමට මම අපේක්ෂා කරනවා.
ඇත්තෙන්ම අපේ සමාජයේ කාන්තාවන්ට තිබෙන බරපතළ ගැටලුවක් තමයි ව්‍යාපාරයක් ආරම්භ කිරීමට තියෙන බය. මුලින්ම එය නැති කරගත යුතුයි. ව්‍යාපාරයක් කියන්නේ සම්පූර්ණයෙන්ම අභියෝගයක්. ඒ වගේම ව්‍යාපාරයක් කරන්න මූලික දැනුමකුත් ඕන. අපි යමක් කරනවා නම් අපි ඉතා හොඳින් ඒ ගැන දැනුවත් වීමට අවශ්‍යයි. එයට අපි ආත්ම ශක්තිය හා ධෛර්ය එකතු කරගන්න අවශ්‍යයි. ආපස්සට හැරී තමන්ගෙන් සිදුවුණ අතපසු වීම් ගැන වැලපෙන්නේ නැතිව ඒවා නැවත සිදුනොවෙන්නට කටයුතු කර ඉදිරියටම යන්න ඕන. ඒ වගේම තමන් කරන සෑම නිෂ්පාදනයටම කැමැත්ත ආදරය එකතු කරනන්නට ඕන. අපි කරන දේ නිවැරදි නම් ඒ වගේම සාර්ථකයි නම් බොහෝදෙනා අපේ උදව්වට පැමිණෙනවා. ඒ නිසා අපිට ඒ ගමන යන්න අපහසුවක් වෙන්නේ නැහැ.
මේ පිළිබඳ උනන්දුවක් ඇති අයට 077 - 6008278 යන දුරකථන අංකය ඔස්සේ නිර්මලා විජේරත්න මහත්මිය සම්බන්ධ කරගත හැකිය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd