ලෝක රූ රැජින කිරුළ දැරූ සුරූපී ඇය නිළියක ලෙස ලොවක් වසඟයට ගැනීමට සමත්වූවාය. එයින් පමණක් නතර නොවූ ඇය ගෝලීය පුරවැසි තානාපතිවරියක ලෙසද කටයුතු කරයි. ප්‍රියංකා චොප්රා ජෝන්ස් නම් ඇය  පසුගිය සතියේ ස්විට්සර්ලන්තයේ ඩාවෝස්හි පැවැති 2020 ලෝක ආර්ථික සංසදයට සහභාගි වූ අතර, එහිදී ඇය විසින් සිදුකළ ප්‍රකාශයන් ලෝකය පුරා වඩාත් කතාබහට ලක්විය. 

ලෝකය පුරා පවතින අන්ත දුප්පත්කම, දේශගුණික විපර්යාස සහ අසමානතාව පිළිබඳ ඇය මෙහිදී අදහස් දැක්වූ අතර, ඇය ලෝක දරිද්‍රතාවට එරෙහි වීම පිළිබඳ කතා කළේය. 2030 වනවිට දරිද්‍රතාව තුරන් කිරීම සඳහා ලෝකයට ඇමෙරිකා ඩොලර් බිලියන 350ක් අවශ්‍ය වන්නේ කෙසේදැයි ඇය හෙළි කළාය. මේ එයින් උපුටා ගත් අනුවාදයකි.

“මම මෙහිදී කතා කරන ආකාරයේ දායකත්වයක් ලබාදිය හැකි ප්‍රකෝටිපතියෙකු නොවන නමුත්, මීට වසර 20කට පමණ පෙර මගේ ව්‍යාපාරයන් ආරම්භ කළ නිසා මේ මාතෘකාව පිළිබඳ යම් අදහසක් මා සතුයැයි විශ්වාස කරනවා. මීට වසර ගණනාවකට පෙර, මම යම් දෙයක් වෙනුවෙන් බලපෑම් කිරීම තුළින් ඇතිවන බලය පිළිබඳව තේරුම් ගත්තා. ඒ වගේම ඒ පිළිබඳ සංවාදය දිගටම කරගෙන යාමේ වැදගත්කම තේරුම් ගත්තා. එම සංවාදය දිගටම කරගෙන යෑමෙන් එය වියැකෙන්නට නොදී පවත්වාගෙන යෑමේ වටිනාකම තේරුම් ගත්තා.” 

දේශගුණික විපර්යාස, අධ්‍යාපනය නොමැතිකම සහ දරිද්‍රතාව යන සියල්ලම එකිනෙකට සම්බන්ධ බව මෙහිදී ප්‍රියංකා චොප්රා ප්‍රකාශ කළාය. ඇතැම් රටවල තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බවත්, විවිධ විෂයයන් පිළිබඳව සිතනවාට වඩා හොඳ හෙට දවසක් සඳහා මිනිසුන් වෙහෙස මහන්සි වී වැඩ කළ යුතු බවත් ඇය එහිදී වැඩිදුරටත් සඳහන් කළාය.

“කාන්තාවන් වෙනුවෙන් කාන්තාවන් පෙළ ගැසී සිටීම තුළින් තමයි අපගේ හඬ ලෝකයට ඇසෙන තැනට පත්කළ හැකි වන්නේ. ඒ වගේම පිරිමින් නොමැතිව එකිනෙකා සමග කතා කිරීමට හැකි සෘජු ක්‍රමයක් බවට පත්වෙමින් තාක්‍ෂණය සැබැවින්ම කාන්තාවන්ට උපකාරී වෙනවා.” ඇය පවසන්නීය.

“ග්‍රේටා තන්බර්ග් වැනි දරුවන්ගේ හඬට ඇහුම්කන් දෙන ලෝක නායකයන් ජීවත්වන ලෝකයක මගේ දරුවෙකු හැදී වැඩිය යුතු යැයි මම සිහින දකිනවා. අනාගතයේ ඉපදෙන දරුවන් දකින සිහින සාක්ෂාත් කරගත හැකි ස්ථානයකට, එම දරුවන්ට අධ්‍යාපනයක් ලබාගත හැකි, එම දරුවාට අනාගතයක් තිබිය හැකි තැනකට ලෝකය ගෙන එන්නට අප උත්සාහ දැරිය යුතුයි. දේශගුණික අර්බුදයන් නොමැති ස්ථානයක මගේ දරුවන් හැදී වැඩීමට මට අවශ්‍යයි. ඒ වගේම මට ජීවත් වීමට අවශ්‍ය වන්නේ කාන්තාවකට සාර්ථක වීමට ඇති හැකියාව මූලික මානව අයිතිවාසිකමක් වන තැනකයි. එසේ නොමැතිව එය භූගෝලීය පදනමම හෝ අවස්ථාව මත පදනම් වූවක් නොවිය යුතුයි” යනුවෙන් ඇය ඇගේ අනාගත දැක්ම පිළිබඳ සඳහන් කර සිටියාය.

නදීශානි පතිරණ

 

0 comments

Leave a Reply

Post Comment