ලොව වඩාත්ම අඳුරු පැහැති සමක් සහිත තැනැත්තිය කවුරුන්ද? යනුවෙන් අන්තර්ජාලයේ සෙවීමක් සිදුකළහොත් ඔබට ලැබෙන පිළිතුර වනුයේ Nyakim Gatwech යන්නයි. 

අන්ධකාරයේ රැජින නමින් ඇයව හඳුන්වන්නට හේතුව වී ඇත්තේද ඇයගේ අසාමාන්‍ය කළු පැහැති සමයි. විසි හයවැනි වියේ පසුවන න්යකීම් දකුණු සුඩානයේ උපත ලබා ඇමෙරිකාවට පැමිණීමෙන් අනතුරුව සිය ජීවිතය වෙනස් කරගත් තරුණියකි. ඇයගේ සුවිශේෂිත්වය වන කළු පැහැය වර්තමානය වනවිට ඇයට ආශිර්වාදයක්ම වී තිබෙනුයේ ලොව ඉහළ පෙළේ විලාසිතා හා රූපලාවණ්‍ය සන්නාමයන් සමග කටයුතු කරන සුපිරි නිරූපිකාවක බවට ඇය පත්වීම නිසාමය.

තමන්ට ආදරය කිරීම නිසාම මෙම දිගු ගමන ආ බව පවසන ඇය වරක් 'වෝග්' සඟරාව සමග සම්මුඛ සාකච්ඡාවක යෙදෙමින් දැක්වූ අදහස් මෙලෙස අප කැටි ගැන්වූයේ සුදු පැහැය පමණක් ලස්සන යැයි සිතා සුදු වීමට ඕනෑම දෙයක් කිරීමට යොමුවන තරුණියන්ට තමන්ටම ආදරය කිරීමට ඇය කරන ආරාධනාව හේතුවෙනි. ''ඔබ ඔබටම ආදරය කරන තැනට ඔබව පත්කර ගන්නට කාලයක් ගතවේවි. නමුත් තමන් කෙරේ විශ්වාසය තබන්න. ඔබ ඔබටම ආදරය කරන ආකාරය යම්දිනක මිනිසුන් දකීවි. එවිට ඔබ ඔවුන් අතර කැපී පෙනෙන්නට පටන් ගනීවි. එවිට ඔවුන්ට ඔබව පිළිගැනීමට හෝ ඔබෙන් ඉවත්ව යෑමට මගපාදාවි.'' ඇය එසේ පවසන අතරවාරයේදී ඇය 'Uber' රියැදුරෙක්ට වරක් ලබා දුන් පිළිතුරක් පිළිබඳව සඳහන් කරන්නීය.

''ඔබ මට ‌ඩොලර් 10000ක් දෙනවානම් සම බ්ලීච් කර, සම සුදු කර දෙනවා'' යනුවෙන් දිනක් මම Uber රථයක ගමන්කරන විට එහි රියැදුරා මට පැවසූවා. මම ඔහුට සිනාවී පැවසූයේ මම කෙදිනකවත් එය සිදු නොකරන බවත්, මගේ සම මට ආශිර්වාදයක් වන බවත්. 

මම මගේ සමාජ මාධ්‍යක මගේ ඡායාරූපයක් පළකරන්නේත් යම් සටහනක් සමගයි. විශේෂයෙන් කළු නැතිනම් අඳුරු සමක් ඇති අය තමන් ගැන අවතක්සේරුවෙන් ජීවත් වෙනවා. ඒ නිසාම මම හැම මොහොතකම පවසන්නේ මට කවුරුන් කුමක් කිව්වත් මම මට ආදරය කරන බවයි. ඒ වගේම මගේ සමට මම ආදරය කරන බවයි. අනෙක් අයට සාපේක්ෂව වෙනස් වීම නිසාම මම ලස්සනයි. ඒ වගේම ලෝකයේ බහුතර පිරිසක‌ෙග් පෙනුමට සාපේක්ෂව බලද්දී මම සුවිශේෂයි.

මම සුඩානයේ ජීවත් වෙද්දී මගේ සම ගැන එතරම් තැකීමක් කළේ නැහැ. මොකද එය එතරම් ගැටලුවක් වුණේ නැති නිසා. නමුත් මම ඇමෙරිකාවට පැමිණි පසු හැමෝම මා දෙස දෙවරක් හැරී බලන බවත්, කුඩා ළමුන් මාව විහිළුවට ගන්නා බවත් මම අත්දැක්කා.''
සිය උපාධිය නිමකළ පසු ගුරුවරියක වීමේ සිහිනයෙන් පසුවන න්යකිම් මේ වනවිට නිරූපණ ක්ෂේත්‍රයේ දිගු ගමනක් ගොස් සිටින්නීය.
ඇය සරණාගතයෙකු ලෙස සුඩානයෙන් ඉතියෝපියාවටත්, ඉතියෝපියාවෙන් කෙන්යාවටත් ගමන් කර අවසානයේ ඇමෙරිකාවට පැමිණ තිබුණේ ඉතා දුෂ්කර හා කටුක මාවතක ගමන් කරමිනි. මේ නිසාම ඇයගේ අභිප්‍රාය වී ඇත්තේ කළු සමක් ඇති නිසාම සමාජයෙන් ගැරහුම් ලබන, කොන්වන ගැහැනු ළමුන් දිරිමත් කිරීම වෙනුවෙන් පෙනී සිටීමය. 

''පුංචි ගැහැනු ළමයෙක් දිනක් ලියුමක් එවා මට ස්තූති කර තිබුණා. ඇය එහි සඳහන් කර තිබුණා මා අනුව යමින් ඇයත් ඇයට ආදරය කරන්නට උත්සහ කරන බව. මම හැම වෙලාවකම මගේ ජීවිතය බෙදා ගනිමින් ගැහැනු ළමුන්ට ආදර්ශයක් වීමට උත්සහ දරන්නේම මගේ ජීවිතය තුළින් ඔවුන්ට, ඔවුන්ටම ආදරය කරන්නට උගන්වන්නට හැකි නිසායි'' යැයි ඇය වැඩිදුරටත් පවසන්නීය.

නදීශානි පතිරණ

0 comments

Leave a Reply

Post Comment