ලාංකේය ක්‍රීඩාවට අශ්වාරෝහක ක්‍රීඩාව යන්න නුහුරු ක්‍රීඩාවකි. ඒ නිසාම කිසිදු විටක එවන් තරග ඉසව් අතර ලාංකේය ධජයක් තිබෙනු ඇතැයි අප සිතන්නේවත් නැත. නමුත් මෙවර ශ්‍රී ලංකාවෙන් පළමුවරට අශ්වාරෝහක ක්‍රීඩිකාවක් ඔලිම්පික් තරග බිමට එක්වන්නීය. ඇය මැටිල්ඩා කාර්සන්ය. 

මහනුවරදී මෙලොව එළිය දුටු මැටිල්ඩාව ස්වීඩන් යුවළක් විසින් තම දියණිය කරගනු ලබන්නේ ඇයට මාස තුනක් තරම් වයසක්ව තිබියදීය.

'‘මම කවදාවත් මගේ ශ්‍රී ලංකාවේ දෙමාපියන් හමුවෙලා නෑ. නමුත් මම ශ්‍රී ලංකාවට ආදරෙයි. මගේ බලාපොරොත්තුව ටෝකියෝවලදී ශ්‍රී ලංකාවට කීර්තියක් ලබාදෙන එකයි*  යනුවෙන් ඇය ඔලිම්පික් වරම් දිනා ලංකාවට පැමිණ පැවැත් වූ මාධ්‍ය හමුවේදී පැවසුවාය. ලෝක ශ්‍රේණිගත කිරීම්හි 1200 වැනි ස්ථානයේ පසු වූ ඇයට අතර මාස 9ක් වැනි කෙටි කලකදී ලෝක ශ්‍රේණිගත කිරීමේ 280 වැනි ස්ථානය දක්වා පැමිණීමට හැකිවීමද විශේෂත්වයකි.
ඔලිම්පික් උළෙල නියෝජනයට සුදුසුකම් ලැබීම තමාට අදහා ගත නොහැකි සතුටුදායක කාරණයක් වූ බවද ඇය මෙම මාධ්‍ය හමුවේදී පවසා සිටියාය.
''මම ඔලිම්පික් යන්න තෝරාගනු ලැබූ බවට පණිවිඩය ලැබුණම එය මට අදහා ගන්නට බැරිවුණා. ටෝකියෝවලදී වෙනසක් කරන්න මං හොඳින් සූදානම් වෙනවා. අවසන් වටය වෙනකල් ඇවිත් පදක්කමක් දක්වාම මගේ ගමන ගෙනියන්නයි මගේ බලාපොරොත්තුව. මාව බලාගත් දෙමවුපියන් මට ගොඩක් ආදරෙයි. මට ආදරණීය දෙමාපියන් ලැබුණා. ඒක මට සතුටක්. අද මං මෙතන ඉන්නේ ඒ ගොල්ලෝ නිසා. මම ඒ අයට ස්තූතිවන්ත වෙනවා මාව මෙතනට ගෙනාවට.* යනුවෙන් ඇය මෙහිදී වැඩිදුරටත් පැවසූවාය.
ඇය සතුව අශ්වයන් 15 දෙනෙකු සිටින අතර, ඇයගේ ප්‍රියතම අශ්වයා වනුයේ චොපින් නමින් හඳුන්වන අවුරුදු 10ක් පමණ වයසැති අශ්වයාය.

ගැහැනු හා පිරිමි මිශ්‍ර තරගවලදී කාන්තාවන්ට පිරිමින් සමග තරග වැදීම අභියෝගයක් නොවන බවත්, කාන්තාවන් යනු ඉහළට නැගී එන සැබැවින්ම දක්ෂ හා ශක්තිමත් අය බවත් ඇය පෙන්වා දෙයි.
එසේම කාන්තාවන් පමණක් නොව පිරිමින්ද සමග තරග කිරීම ඇයට මහත් ආස්වාදජනක හා සිත් ඇදගන්නාසුලු කටයුත්තක් බව ඇය සඳහන් කළේය. පිරිමින් ශාරීරිකව ශක්තිමත් නමුත් කාන්තා ධාවකයන්ට වාසියක් වී ඇත්තේ කාන්තාවන් සංවේදී හා අන් අයගේ හැඟීම් හොඳින් තේරුම් ගත හැකි ගුණාංගවලින් යුතු නිසා අශ්වයන්ගේ කම්පන වඩා හොඳින් තේරුම් ගත හැකිවීම බව ඇය පෙන්වා දෙයි.

''සෑම විටම තමන් ගැන විශ්වාස කරන්න. ඔබ කොහේ සිට පැමිණියත් වෙහෙස මහන්සි වී වැඩ කිරීම මගින් ඔබට අවශ්‍ය තැනට යාමට හැකියි. කළ යුතු වන්නේ නිවැරදි මාර්ගය සොයා ගැනීම පමණයි. සෑමවිටම මිනිසුන්ට යහපත් වන්න, එවිට ඔබට බොහෝ දුරක් ගමන් කරන්නට හැකි වේවි'' යැයි ඇය වැඩිදුරටත් පැවසූවාය.

0 comments

Leave a Reply

Post Comment