පෙර පාසල, දරුවෙකු පන්ති කාමරයකට කොටු කරන, කාල සටහනකට කොටු කරන තැනක් බවට පත්වන්නේ නම් දරුවාට එය වඩාත් නීරස වන්නට ඇති හැකියාව ඉතා ඉහළය. එසේ නොවී නිදහසේ අනාගත ලෝකයට විශිෂ්ටයෙකු ලෙස පියමනින්නට ශක්තිමත් පදනමක් ගොඩනගන ස්ථානයක් බවට පෙරපාසලක් පත්වන්නේ නම් එය දරුවාට වඩාත් සුන්දර ස්ථානයක් බවට පත්වනු නොඅනුමානය.

මේ අප ඔබට පවසනුයේ මොරටුව ලේඩි ඇව්ලින්ද සොයිසා මාවතේ අංක 1/14 ස්ථානයේ පිහිටා තිබෙන එවන් සුන්දර ස්ථානයක් පිළිබඳවය. ‘STEPS Early Childhood Development Centre' (STEPS ECDC) නොඑසේනම් ‘ස්ටෙප්ස් මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයේ' අධිපතිනී රොශේනි ගුණසේකර විතානගේ මහත්මිය අපට දැක්වූ අදහස් මෙවර දරුවාට පාසලක් තුළින් මෙලෙස දිග හැරේ.

“මම ගුරු වෘත්තියට පිවිසුනේ 2003 වසරේයි. මෙම ආයතනය මා විසින් ආරම්භ කරනු ලැබුවේ 2009 වර්ෂයේ අගෝස්තු මාසයේදීයි. පසුගිය වර්ෂයේ අපි දසවැනි සංවත්සරය සමරනු ලැබුවා. මෙතරම් කාලයක් අපේ පාසල පවත්වාගෙන යෑමට දෙවියන් වහන්සේගේ ආශීර්වාදය හේතු වූණා. අපි අපේ ආයතනයේ ක්‍රියාත්මක කරනු ලබන්නේ ‘Montessori Method of Education (MME)' ක්‍රමවේදයයි. අපේ ආයතනයට ‘Toddler', ‘Lower Kinder garden' , ‘Upper Kinder garden' කියන කණ්ඩායම් තුනට දරුවන් බඳවා ගැනීම සිදුකරනු ලබනවා. Toddler කණ්ඩායමට සාමාන්‍යයෙන් අවුරුදු 2 ½ න් බබාලා ඇතුළත් කර ගැනීම සිදුකළ යුතු වුවත් ඊට අඩු වයසේ බබාලාත් අපි බාරගනු ලබනවා. මොකද අඩු වයසෙන් බබෙක්ව අපිට අරගෙන එන්නේ වැඩට යන අම්මලා. ඔවුන්ගේ දරුවන් ගෙදර මෙහෙකාරියක සමග තබනවාට වඩා හොඳ වාතාවරණයක් දරුවාට අපේ ආයතනය තුළින් ලබාදෙනු ලබනවා. ඒ නිසා බොහෝ වැඩට යන මවුවරුන් අවුරුද්දයි මාස 2න් වගේ බබාලා අපිට බාරදෙනවා.

අපේ ආයතනයේ අපි ක්‍රියා කරන්නේ ඒ ඒ ළමයා තුළ පවතින්නේ ඔවුන්ටම සුවිශේෂී වූ හැකියාවන් හඳුනාගෙනයි. හැම ළමයාම එකවගේ නැහැ. ඉතින් අපි එය තේරුම් අරන් ළමයාට අනුව ඔවුන්ගේ ජීවිතය ගොඩනගා ගන්නට අවශ්‍ය අඩිතාලම අපගේ ආයතනය මගින් සකස් කළ යුතුයි කියන පදනම සහිතව කටයුතු කරනවා.

ළමයාගේ ගොඩනැගීමේ අඩිතාලමේ මූලික හා ප්‍රමුඛ  අවශ්‍යතාවන් මේ අනුව අපි විසින් සකස් කරනු ලබනවා. අපි මෙහිදී දරුවන්ට නිවසේ වටපිටාව අනුව නිදහස් වාතාවරණයක් සකස් කරදී තිබෙනවා. අපිට අවශ්‍ය අපි ළඟට එන දරුවා සතුටින් හා ආසාවෙන් අපි ළඟට එනවා දැකීමයි. එසේ නොමැතිව පෙරපාසලට පැමිණීම පුංචි හිත්වලට බරක් බවට පත්කරන්නට අපි කටයුතු කරන්නේ නැහැ. ඔවුන් තමන්ගේ වැඩ ඉතා ආසාවෙන්, විඳිමින් කරනවා දැකීමයි අපේ අභිප්‍රාය. 

අපේ ගුරුවරියන් සියලු දෙනාම ‘Montessori Qualified' අයයි. ඉංග්‍රීසී මාධ්‍ය පෙරපාසලක් ලෙස පවත්වාගෙන නොගියත් අපි බබාලා එක්ක හැම වෙලාවේම කතාබහ කරන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. එසේ කරන්නේ ළමයින්ට ඉංග්‍රීසි භාෂාවට ඇති බය නැති කිරීමටයි.  
මම ඉගෙන ගත්තේ මොරටුවේ ජයලත් අප ස්වාමිදූගේ කන්‍යාරාමයෙන්. කන්‍යාරාමයක හැදී වැඩීම තුළ මට ලැබුණු පන්නරය හා නායකත්ව ගුණාංග හා ආභාෂයන් මට හොඳ රුකුලක් වී තිබෙනවා. මම Montessori Diploma ලාභිණියක්. ඒ වගේම ළමා මනෝවිද්‍යාව පිළිබඳ ඩිප්ලෝමාවක් මා සතුයි. මීට අමතරව ‘Teaching English Young Learners to Adult Learners' එනම් කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වා ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම සිදුකළ හැකි උපාධියක් මා විසින් ‘CALSDA' වෙතින් ලබාගෙන තිබෙනවා. ඒ වගේම මම ‘Elocution Examiner' කෙනෙක්. 

ඉංග්‍රීසි මාධ්‍යයෙන් පෙරපාසලක් පවත්වාගෙන යද්දී බොහෝ මවුපියන් සිතනවා අපේ ආගම හා සංස්කෘතික වටිනාකම් දරුවාගෙන් ඈත්ව යන පරිසරයක් ඒ තුළ පවතින බවට. නමුත් අපේ පෙරපාසල ආරම්භය සිදුවන්නේ දරුවන්ට තමන්ගේ ආගමික වතාවත්වලට සහභාගි වීමෙන් අනතුරුවයි. මොකද මම විශ්වාස කරනවා ඕනෑම මනුෂ්‍යයෙකුට ආගමක් තිබිය යුතුයි කියලා. එහි අඩිතාලම වැටෙන්නේ කුඩා කාලයේදීයි. ඒ අනුව ක්‍රිස්තියානි ළමුන්ට ඔවුන්ගේ ආගමික පරිසරයේත්, බෞද්ධ ළමුන් ඔවුන්ගේ ආගමික පරිසරයේත් ගොඩනැගෙන්න අවස්ථාව අපි ලබාදී තිබෙනවා. සිංහල අලුත් අවුරුද්ද, වෙසක් උත්සවය, පොසොන් උත්සවය, නත්තල් උත්සවය සමරන්නට විවිධ වැඩසටහන් අපි සංවිධානය කරනු ලබනවා.   

අපි ළඟට එන ළමයින්ට Uniform එකක් අනිවාර්යය කරන්නේ නැහැ. මොකද පාසල් ජීවිතය ආරම්භ කළ දවසේ පටන් අවුරුදු 13ක් Uniform ඒකක් අඳින්නත්, ඇතැම් වෙලාවට රැකියාවක නිරත වන අවස්ථාවේදීත් ‘Uniform' එකකට කොටුවෙන්නත් සිදුවෙනවා. ඉතින් අපිට ඕන අපේ ළඟට එන ළමයින්ට නිදහස ලබාදෙන්නයි. මොකද ඔවුන්ගේ කුඩා කාලය නැවත එන්නේ නැහැ. අපේ ළමයින්ට කෑම වට්ටෝරුව පවා කොටු කරලා නැහැ. 

ළමයින් උදේට හොඳට කෑම කනවා නම් ස්නැක් එකක් ගෙන එන ලෙසත්, උදේට කෑම නොගත් ළමුන්ට අදාළ කෑම වේලත් ගෙන එන ලෙසත් අපි උපදෙස් දෙනවා. මන්දයත් අපි හැම ළමයාගේම කෑම ගැන අපි උනන්දු වෙනවා. අපි මනෝ උපදේශකවරියකගේ සේවය නිතර ලබා ගනු ලබනවා. එහිදී ළමයෙකුගේ ආහාර හෝ වෙනයම් ගැටලු තිබෙන දරුවන්ව හඳුනාගෙන මවුපියන්ට අවශ්‍ය උපදෙස් ලබාදෙනවා. දරුවන් තිදෙනෙකුගේ මවක් ලෙස මගේ දරුවන්ට මෙන්ම පාසලේ සිටින දරුවන්ටත් මම සලකනවා.

පෙරපාසලේ සිටියදී ළමයෙකු වැටුණත් අපි ඒ පිළිබඳව මවුපියන් දැනුම්වත් කරනු ලබනවා. විශේෂයෙන් මම මවුපියන්ට ළමයෙක් භාරගන්න කලින්ම කියන දෙයක් තමයි ළමයා, දෙමාපියන් හා මා අතර ත්‍රිකෝණයක් මෙන් සබඳතාවක් පවත්වා ගත යුතු බව. අපි තුන්දෙනාම එකට සිටියොත් තමයි අපේ දරුවාට හොඳ දෙයක් ලබාදිය හැක්කේ. අපි අපේ ළමුන්ගේ මවුපියන්ට වසරකට දෙවරක් පාසලෙන් පිට තැනක උපදේශන වැඩසටහන් කරනු ලබනවා. ඒ හරහා අපිට ළමයා හා මවුපියන් අතර සබඳතාව ශක්තිමත් කරන්න හැකි වෙලා තිබෙනවා. මම මවුපියන් සමග ඉතා විවෘතව කටයුතු කරන නිසා දවසේ ඕනෑම වෙලාවක ඔවුන්ට මා සමග කතා කරන්න අවස්ථාව ලබාදී තිබෙනවා. මගේ මේ කටයුතුවලදී මගේ මවුපියන් සහෝදරිය වගේම මගේ පවුලේ හැමෝම ලොකු සහයක් ලබාදෙනවා. අපි පවුලක් ලෙස ඉතාම බැඳීමකින් තමයි අපේ පාසල පවත්වාගෙන යන්නේ.”

ඔබේ දරුවාට පාසලක් හෝ පෙරපාසලක් තෝරා ගැනීමේදී ඔබට දැනගැනීම සඳහා පළ කරගතයුතු කරුණු ඇතිනම්  0112479643 දුරකථන අංකය හරහා අපට දැනුම් දීමට හැකියාවක්  පවතියි.​

නදීශානි පතිරණ

 

0 comments

Leave a Reply

Post Comment