වර්තමානය වනවිට කය වෙහෙසා සිදුකරන වැඩවලට වඩා කාර්යාලයේ පුටුවක් මත හිඳ කරන රැකියාවන්වල නිරතවන කාන්තාවන් බොහෝමයි. අඩුවෙන් කය වෙහෙසෙන විට බර ආහාර වේලක් ලබාගැනීම නම් එතරම් සුදුසු නොවන්නේ එමගින් බෝ නොවන රෝගවලට අනාගතයේ ගොදුරු වීමේ අවදානමක් පවතින නිසායි.

ඒ වගේම බතක් උයා, එළවළු මාළු තුන හතරක් පිසගෙන කාර්යාලයට උදෙන්ම දුවගෙන ඒමත් කාර්යබහුල රැකියාවේ නිරත කාන්තාවන්ට විටක යුද්ධයක් බවට පත්වෙනවා. මේ නිසාම පහසුවෙන් ලෙහෙසියෙන් දිවා ආහාරයට ගත හැකි සෞඛ්‍ය සම්පන්න ආහාර වට්ටෝරු කිහිපයක් හඳුන්වා දෙන්නට අප අදහස් කළා. ඒ සඳහා අපි සමග එකතු වූයේ චෙෆ් ශාලික රුක්ෂාන් සේනාධීරයි.

Quick fried rice

අවශ්‍ය ද්‍රව්‍ය
තක්කාලි 35 g 
බොම්බයි ලූනු 15 g 
බෙල් පෙපර් (රතු සහ කොළ පැහැති) 30 g 
සාදාගත් බත් 100g 
ලුණු සහ ගම්මිරිස් කැමති පදමට.

සාදන ආකාරය

පෑන් එකක් ලිප මත තබා තෙල් ස්වල්පයක් ඊට එකතු කරන්න. තෙල් රත්වන විට තක්කාලි හා ලූනු එක් කරන්න. මදක් බැදෙන විට එයට බෙල්පෙපර් එකතු කරන්න. බෙල් පෙපර් පාට වේගෙන එනවිට බත් ටික එකතු කරන්න. එයට රස අනුව ලුණු හා ගම්මිරිස් එක් කර ගන්න.

Easy Yellow Rice

අවශ්‍ය ද්‍රව්‍ය

බාස්මතී හාල් 250g
බොම්බයි ලූනු 50g
සුදු ලූනු 20g
කරාබු නැටි 6ක්
කුරුඳු පොතු කැබැල්ලක්
‍රම්පා කැබැල්ලක්
ගම්මිරිස් ඇට දෙක තුනක්
ඉඟුරු කැබැල්ලක්
තෙල් (පොල් තෙල් හෝ ගී තෙල්) ස්වල්පයක් 
බිත්තර දෙකක් හෝ තුනක්
කහ ස්වල්පයක්
Star Anise
( සුපිරි වෙළෙඳ සැල්වලින් මිලදී ගත හැකිය)

සාදන ආකාරය

බාස්මතී හාල් විනාඩි 5ක් 10ක් පෙඟෙන්නට තබන්න. බඳුනක් ලිපේ තබා ගී හෝ පොල් තෙල් ස්වල්පයක් එකතු කරන්න. බිත්තර වෙනමම තම්බා ගන්න. Star Anise , කපාගත් බොම්බයි ලූනු, තලාගත් සුදු ලූණු හා ඉඟුරු, සමග අනෙකුත් ද්‍රව්‍ය එකතු කර තෙම්පරාදු කරගන්න. එම මිශ්‍රණය පොඟවා ගත් හාලට දමා බත පිසගන්න.
( මෙම බත සමග මෙහි සටහන්ව ඇති ඕනෑම සලාදයක් සමග ආහාරයට ගැනීමෙන් රස මෙන්ම ගුණයද වැඩි කරගත හැකිය.)

හලොමි with salad

අවශ්‍ය ද්‍රව්‍ය

හලොමි චීස් 60 g 
ඔලිව් ගෙඩි කිපයක්
 ඔලිව් තෙල් මේස හැන්දක්
 තක්කාලි 35 g 
බොම්බයි ලූනු 25 g 
ඇපල් විනිගර් මේස හැන්දක් 
ලුණු ( කැමති පදමට) 
බෙල් පෙපර් කොළ පැහැති 35 g

සාදන ආකාරය

බෙල් පෙපර් කපාගෙන එයට 'ඇපල් විනිගර්' එකතු කරන්න. එයට තක්කාලි හා බොම්බයි ලූනු කපා මිශ්‍ර කර ගන්න. එයට ඔලිව් ගෙඩි කිහිපය හා ඔලිව් තෙල් මිශ්‍ර කරන්න. මෙම සලාදය ඉවීම සිදුනොකරන අතර, අවශ්‍ය සියලුම දේ එකට මිශ්‍ර කිරීම පමණක් සිදුකිරීම අවශ්‍ය වේ. අවසානයේ හලෝමි චීස් කැබැල්ල සලාදය උඩට එක් කරගන්න. මෙම සලාදය සඳහා අනිවාර්යයෙන් 'ඇපල් විනිගර්' අවශ්‍ය බව මතක තබාගත යුතු අතරම, 'හලොමි චීස්' ඕනෑම සුපිරි වෙළෙඳ සැලකින් මිලදීගත හැකිය.

බ්‍රොකලි salad

අවශ්‍ය ද්‍රව්‍ය

බ්‍රොකලි 40 g
බොම්බයි ලූනු 20 g
දෙහි මේස හැඳි 2
වියළි මිදි ස්වල්පයක්
ගම්මිරිස් සහ ලුණු (කැමති පදමට)

සාදන ආකාරය

බ්‍රොකලි විනාඩි 7ක් පමණ තම්බා ගන්න. එයට ලූණු රවුම් ලෙස හෝ කොටු ලෙස කපා එකතු කරගන්න. එයට දෙහි මේස හැඳි 2ක්, වියළි මිදි ස්වල්පයක් හා රස අනුව ලුණු ගම්මිරිස් එකතු කර ගන්න.

Chicken with salad

අවශ්‍ය ද්‍රව්‍ය

කුකුල් මස් 50 g 
ගර්කින් 33 g
ලෙට්ටුස් 40 g
දෙහි මේස හැඳි 2 
ලුණු සහ ගම්මිරිස්
( කැමති පදමට)

සාදන ආකාරය

පෙත්තක් මෙන් කපාගත් කුකුලු මස් කැබැල්ලක් විනාඩි 5 බැගින් රත් කරගත් පෑන් එකක දමා දෙපැත්ත බැද ගැනීම සිදුකරගන්න. ඉන්පසු ගර්කින් පෙති හා ලෙට්ටුස්ද කපා ගෙන එයට එකතු කර ගන්න. දෙහි මේස හැන්දක් හා ලුණු ගම්මිරිස් රස අනුව එයට එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න.

බීෆ් with grill salad

අවශ්‍ය ද්‍රව්‍ය

බීෆ් 60 g 
තක්කාලි 30g 
ලෙට්ටුස් 30g
බොම්බයි ලූනු 15g
රතු ගෝවා 25g 
දෙහි මේස හැන්දක් 
ලුණු සහ ගම්මිරිස්
( රස අනුව)

සාදන ආකාරය

බීෆ් පොඩියට කපාගෙන එයට ලුණු ගම්මිරිස් එකතු කරගන්න. පෑන් එකක් ලිප මත තබා තෙල් ස්වල්පයක් එකතු කර බීෆ් හොඳින් බැදෙන තුරු තබන්න. තක්කාලි, ලෙට්ටුස්, බොම්බයි ලූනු රතු ගෝවා කපාගෙන බැදගත් බීෆ් සමග කවලම් කරගන්න. එයට දෙහි, ලුණු හා ගම්මිරිස් එකතු කරගන්න. මෙහිදී බීෆ් වෙනුවට කුකුළු මස් වුවද භාවිතයට ගත හැකිය.

නදීෂානි පතිරණ

1 comment

Sandu

01 years 27 days 03 hours 55 minutes 43 seconds ago

♥️♥️wow..super

Reply

Leave a Reply

Post Comment