තායිවානය මූලික  ක්‍රියාමාර්ග මගින් කොරෝනා වසංගතය කෙතරම් සාර්ථකව පාලනය කර ඇත්ද යත්, ඔවුන් දැන් යුරෝපා සංගමයට සහ වෙනත් රාජ්‍යයන්ට උපකාර කිරීම සඳහා මුහුණු ආවරණ මිලියන ගණනක් අපනයනය කරයි. ජර්මනිය, යුරෝපා රටවල් අතරින් කෝවිඩ්  වෛරස පරීක්ෂණ ක්‍රියාවලිය මහා පරිමාණයෙන් සිදුකරන රට බවට පත්ව ඇත.

සෑම සතියකම පරීක්ෂණ 350,000ක් පවත්වමින්, රෝගීන් හුදකලා කිරීමට සහ ඵලදායී ලෙස ප්‍රතිකාර කිරීමට තරම් ඉක්මනින් ඔවුන් වෛරසය හඳුනා ගනී.නවසීලන්තය,  සංචාරක ව්‍යාපාරය වසා දැමීමට සහ මුළු රටටම මාසයක් පුරා අගුළු දැමීමට ඉක්මන් පියවර ගත් අතර, කෝවිඩ්  මරණ 10කට අඩු අගයක රඳවා ගැනීමට ඉන් හැකි වී  ඇත.

කොරෝනා වෛරස් වසංගතය මනාව කළමනාකරණය සම්බන්ධව සතුටුදායක තත්ත්වයන් පෙන්නුම් කරන මෙම රටවල් අතරින් එකක් යුරෝපයේය. අනෙක්වා ආසියාවේ සහ දකුණු පැසිෆික් කලාපයේය.මෙම රටවලට එක දෙයක් පොදුය. ඒ එම රටවල් සියල්ලම කාන්තාවන් විසින් පාලනය කරනු ලැබීමය.

 ගෝලීය වසංගතයක් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී මෙම රටවල් ත්‍රිත්වය සහ අනෙකුත් කාන්තා නායකත්වයෙන් යුත් රජයන් ලබා ඇති සාර්ථකත්වය වඩාත් කැපී පෙනේ. මන්දයත් ලෝක නායකයන්ගෙන් කාන්තා නායකත්වය 7%කටත් වඩා අඩු සංඛ්‍යාවක ඇති බැවිනි'

මූලික ක්‍රියාවලි

ඉහත සඳහන් කළ රටවල් බොහෝමයක්, සිය ආණ්ඩු කෙරෙහි ඉහළ මට්ටමේ මහජන විශ්වාසයක් සහිත බහු-පක්ෂ ඇති ප්‍රජාතන්ත්‍රවාදී රටවල් වේ. ඔවුන් මූලික ක්‍රියාවලි ලෙස මෙම වෛරසයට එරෙහිව ගනු ලැබූ  පුළුල් පරීක්ෂණ, ගුණාත්මක වෛද්‍ය ප්‍රතිකාර සඳහා පහසුවෙන් ප්‍රවේශ වීමට අවස්ථාව උදාකිරීම, ආවේක්ෂණ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සහ සමාජ රැස්වීම් සඳහා දැඩි සීමාවන් පැනවීම යන ඒවා කැපී පෙනිණ.

චීනයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ ඔස්ට්‍රේලියාවට සමාන ජනගහනයක් සහිත (මිලියන 24කට ආසන්න ජනතාවක් සිටින) තායිවානය, චීනයෙන් වෙන් වූ රාජ්‍යයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධාන නොසලකයි. එබැවින් චීනයේ ප්‍රධාන භූමියෙන් හටගන්නා වසංගතයකට එහි ජනතාව බෙහෙවින් ගොදුරු විය යුතුය.

නමුත් තායිවානයේ ජනාධිපති සයි ඉන්ග්-වෙනන් පසුගිය වසරේ දෙසැම්බරයේ වුහාන් පුරවැසියන්ට ආසාදනය වූ නව වෛරසයක් ගැන ආරංචි වූ වහාම, වුහාන් සිට පැමිණෙන සියලුම ගුවන් යානා පරීක්ෂා කරන ලෙස නියෝග කළාය.

පසුව ඇය වසංගත විධාන මධ්‍යස්ථානයක් පිහිටුවා, මුහුණු ආවරණ වැනි පෞද්ගලික ආරක්ෂක උපකරණ නිෂ්පාදනය කිරීම වේගවත් කළ අතර, චීනය, හොංකොං සහ මැකාවෝ යන ප්‍රධාන භූමි ප්‍රදේශවලින් සියලුම ගුවන් ගමන් සීමා කළාය.
 
තායිවානයේ මුල් මැදිහත්වීමේ ක්‍රියාමාර්ග මගින් තහවුරු කරන ලද ආසාදිතයන් 393ක් සහ මරණ 6 ලෙස සීමා වී තිබේ. පුරවැසියන් මිලියන 83ක් සිටින ජර්මනියේ ආසාදිතයන් 132,000කට වඩා ඇති නමුත්, මරණ පිළිබඳව සැලකීමේදී  ජනගහනයෙන් ප්‍රතිශතයක් ලෙස ගත්විට අනෙකුත් යුරෝපීය රටවලට වඩා එය බෙහෙවින් අවම අගයක් ගනී. 

රසායන විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා ඇති ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් හට වසංගතය පාලනය කිරීමේ හැකියාවක් පැවතීම මෙයට හේතු වී ඇති බව විචාරකයන් පෙන්වා දෙයි. ජර්මනියේ දැඩි සත්කාර ඇඳන් ඉතා ඉහළ ප්‍රමිතියකින වන අතර යුරෝපයේ විශාල පරිමාණයේ කොරෝන වෛරස් පරීක්ෂණ වැඩසටහන්ද ක්‍රියාත්මක වේ.

"සමහර විට ජර්මනියේ අපගේ ලොකුම ශක්තිය ඇය  විය හැකියි. තාර්කික තීරණ ගැනීම රජයේ ඉහළම මට්ටමේ දී ජනගහනය කෙරෙහි රජය දක්වන විශ්වාසය හා බැඳී පවතී* යැයි හයිඩෙල්බර්ග් විශ්වවිද්‍යාල රෝහලේ වෛරස් විද්‍යා අංශ ප්‍රධානී හාන්ස්-ජෝර්ජ් කෘස්ලිච් නිව්යෝර්ක් ටයිම්ස් වෙත අදහස් දක්වමින් ජර්මන් චාන්සලර්වරියගේ ක්‍රියාමාර්ග පැසසුමට 
ලක්කර තිබේ.
 

 නවසීලන්තය මිලියන පහකට ආසන්න ජනගහනයක් සිටින දූපත් රටක් වන අතර, එය සංචාරක කර්මාන්තය මත දැඩි ලෙස රඳා පවතී. අග්‍රාමාත්‍ය ජසින්ද ආර්ඩර්න් මාර්තු 19 වන දින නවසීලන්තයේ දේශ සීමා විදේශ සංචාරකයන් සඳහා වසා දමා, මාර්තු 23 වන දින සිට සති හතරක රට අගුලු දමා ඇති බව නිවේදනය කළාය.

නෝර්ඩික් රටවල් 
 
උතුරු යුරෝපාකරයේ හා උතුරු අත්ලාන්තික් රටවල් වල සමාන භූ විෂමතා හා සංස්කෘතික ලක්ෂණ වලින් හෙඹි නෝර්ඩික් රටවල් පහෙන් හතරක් කාන්තාවන් විසින් පාලනය කරනු ලැබේ. සෙසු යුරෝපා රටවලට සාපේක්ෂව ඔවුන්ගේ රටවල් වලින් කොරෝනා වෛරස මරණ අනුපාතය අවම අගයක පවතී.

නිදසුනක් වශයෙන්, ෆින්ලන්තයේ අග්‍රාමාත්‍ය 34 හැවිරිදි සන්නා මැරින් ලොව ළාබාලතම නායිකාව වන නමුත්, මිලියන 5.5ක ජනගහනයක් සිටින රටේ මරණ 59ක් පමණ වාර්තා වේ.

අයිස්ලන්තයේ අග්‍රාමාත්‍ය කැත්‍රින් ජාකොබ්ස්ඩැටිර් පාලනය කරන්නේ 360,000ක ජනතාවක් සිටින කුඩා දූපත් රටකි. නමුත් එහි මහා පරිමාණ වශයෙන් අහඹු ලෙස කොරෝනා වෛරස් පරීක්ෂාව සිදුකර ඇත. ඒ හරහා වෛරසය සඳහා පරීක්‍ෂා කරන පුද්ගලයන්ගෙන් අඩක් පමණ රෝග ලක්ෂණ නොමැති බව සොයාගෙන ඇත. 

කාන්තාවක් විසින් මෙහෙයවනු නොලබන එකම නෝර්ඩික් රට වන ස්වීඩනය සමග ගත්විට කාන්තා පාලනයේ වෙනස වඩාත් හොඳින් විද්‍යාමාන වේ . ස්වීඩනයේ  අගමැති ස්ටෙෆාන් ලුෆ්වන් තමන්ගේ රට අගුළු දැමීම ප්‍රතික්ෂේප කළ අතර, පාසල් හා ව්‍යාපාර විවෘතව තබා ඇත. එම හේතුව නිසා ස්වීඩනයේ මරණ අනුපාතය අනෙකුත් බොහෝ යුරෝපීය රටවලට 
වඩා බෙහෙවින් ඉහළ ගොස් තිබේ.
 
තවද ලෝකයේ කාන්තා නායකත්වය පවතින සෙසු රටවල් වලින්ද විවිධ වාර්තා හා ප්‍රවෘත්ති මේ හා සමානව වාර්තා වෙයි.

 ඉතා කුඩා කැරිබියානු දූපතක් වන සෙන්ට් මාර්ටන් හී අග්‍රාමාත්‍ය සිල්වීරියා ජේකොබ්ස් පාලනය කරන්නේ 41,000ක් පමණ  වන ජනගහනයකි. සති දෙකක් යනතුරු ගමනාගමන නවතා දැමීම මගින් ලෝකයෙන්ම මෙම වෛරසය තුරන් වනු ඇති බවට  ඇය කළ ප්‍රකාශයක් ලොව වටා ප්‍රචාරය වන්නේ හාස්‍ය උපදවමිනි.

"ඔබේ නිවසේ ඔබ කැමති පාන් වර්ගයක් නොමැති නම් ක්‍රැකර් අනුභව කරන්න. ඔබට පාන් නොමැති නම්ධාන්‍ය වර්ග අනුභව කරන්න. ඕට්ස් අනුභව කරන්න." ඇය තදින් පවසයි.

අකාර්යක්ෂම, විද්‍යාව ප්‍රතික්ෂේප කරන මිනිසුන්

ඇත්ත වශයෙන්ම, දකුණු කොරියාවේ (පිරිමි) ජනාධිපති මූන් ජේ-ඉන් පුළුල් පරීක්ෂණ මගින් තම රටේ ආසාදන වක්‍රය සමතලා කිරීමට ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව ප්‍රශංසා කළ යුතුය. එහෙත් අකාර්යක්ෂම, විද්‍යාව ප්‍රතික්ෂේප කරන පිරිමින් විසින් මෙහෙයවනු ලබන බොහෝ රටවල් ව්‍යසනකාරී කොරෝනා වෛරසය පැතිරීමට හේතු වී තිබේ.

වසංගතයේ කේන්ද්‍රස්ථානය බවට දැන් පත්ව ඇත්තේ එක්සත් ජනපදයයි. ජනාධිපති ට්‍රම්ප් මුලින්  වෛරසය 'ප්‍රෝඪාවක්' ලෙස දේශපාලනීකරණය කරමින් චෝදනා කළ අතර, මාස ගණනාවක් තිස්සේ විද්‍යාඥයන්ගේ අනතුරු ඇඟවීම්වලට ඔහු අවනත නොවීය.
මෙම හේතුව නිසාම වර්තමානයවන විට  මරණ 25,000කට අධික සංඛ්‍යාවක් සහ මිලියන භාගයක් පමණ රෝගීන් වාර්තා වීමක් ඇති කරමින් රටේ හදිසි තත්ත්වයක් ඇතිව තිබේ.
 
එසේම, එක්සත් රාජධානියේ අගමැති බොරිස් ජොන්සන් මහජන සෞඛ්‍ය අර්බුදයේ බරපතළකම මුල් අවදියේදී බැහැර කළ අතර, අනෙකුත් යුරෝපීය රටවල් අගුළු දමා බොහෝ කලකට පසු සමාජ රැස්වීම් සඳහා සීමාවන් පැනවීම පවා ඔහු ප්‍රතික්ෂේප කළේය.

ඔහු කෝවිඩ් -19 වැළඳී  රෝහල්ගත කිරීමට පෙර මාධ්‍ය වාර්තාකරුවන්ට පැවසුවේ ‌‌රෝහල්ගත වුවත් තමන්ගේ තීරණ නතර නොවන බවයි.

ලංකාවේ තත්ත්වය

වර්තමානයේ  මෙරට  පාලනය රැඳී තිබෙන්නේ ජනාධිපතිවරයෙකු හා අගමැතිවරයෙකු යටතේය. පාර්ලිමේන්තුව විසිරුවා ඇති වකවානුවක මෙරට ජනතාව මෙවන් ව්‍යසනකාරී තත්ත්වයකට මුහුණ දුන් ප්‍රථම අවස්ථාව මෙය විය හැකිය.

 කෙසේ වෙතත් මෙරට පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් 225 දෙනෙකු පත් වෙති. ඉන් 4-5%ත් අතර ඉතාම සුළු ප්‍රතිශතයක් ලෙස කාන්තා නියෝජිතවරියන් දැක ගත හැකිය. පැවති හා  වත්මන් අමාත්‍ය මණ්ඩලයේ එකම කාන්තා නියෝජනය වූයේ  අමාත්‍ය පවිත්‍රා දේවි වන්නිආරච්චි මහත්මියයි. ඇයට හිමි වූ අමාත්‍යාංශය වූයේ කාන්තා හා ළමා කටයුතු සහ සමාජාරක්ෂණ,සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයයි. 

 මේ වන විටද ඇය අදාළ විෂයන්හී අමාත්‍යවරිය ලෙස ප්‍රශංසනීය ලෙස කටයුතු කරමින් සිටියි. විශේෂයෙන් මේ දිනවල දේශපාලඥයන් සැඟව ඇති ස්වභාවයක් නිර්මාණය වී ඇති පසුබිමක අමාත්‍යවරිය සිදුකරන කාර්යභාරය බොහෝ දෙනාගේ පැසසුමට ලක්වී තිබේ.

විශේෂයෙන් සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙස මෙන්ම සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය යටතේ සමෘද්ධිලාභීන් වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළද කාන්තා හා ළමා කටයුතු අමාත්‍යවරිය වශයෙන් ඇය ගෙන යන වැඩපිළිවෙළද මෙවන් අවස්ථාවක සුවිශේෂී වෙයි. 

තවත් කාන්තාවන් අවශ්‍යද?

කොරෝනා වෛරසය පැතිරීම පාලනය කිරීමට සහ ජීවිත බේරා ගැනීමට ප්‍රමාණවත් පියවර ගනු ලැබුවේ කුමන නායකයන්දැයි නිශ්චිතව පැවසිය නොහැකිය. එහෙත් ඉහත උදාහරණවලින් පෙනී යන්නේ ප්‍රමුඛ හා තීරණාත්මක ලෙස ක්‍රියා කළ නායකයන් විශාල ප්‍රමාණයක් කාන්තාවන් බවය. 2020 ජනවාරි 1 වන දින අන්තර් පාර්ලිමේන්තු සංගමය හා එක්සත් ජාතීන්ගේ සංවිධානයට තේරී පත් වූ රාජ්‍ය නායකයන් 152 දෙනාගෙන් 10 දෙනෙකු පමණක් කාන්තාවන් විය.

තවද 75%ක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, 73%ක් කළමනාකරණ තීරණ ගන්නන් සහ 76%ක් ප්‍රධාන ධාරාවේ ප්‍රවෘත්ති මාධ්‍යවල සේවය කරන්නන් ලෙසට පත්වූයේ පිරිමින්ය.

"කාන්තාවන්ට 25%ක අවස්ථාවන් හිමිවන ලෝකයක් මේ වන විට නිර්මාණය වී තිබේ. ලෝකය විසින් කාන්තාවන්ව මිරිකා දමමින් ශාරීරික වශයෙන් හා තීරණ ගැනීමේ යාන්ත්‍රණයට එක්කර ගැනීම සම්බන්ධයෙන් ඉතා කුඩා සීමාවකට  කොටුකර තිබෙනවා. මෙම 25%ක ප්‍රතිශතය කාන්තාවන්ට කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ."

එක්සත් ජාතීන්ගේ කාන්තා විධායක අධ්‍යක්ෂ ෆුම්සිලේ මැලම්බෝ-එන්ගුකා පැවසීය.ලෝකයට මීට වඩා කාන්තා නායිකාවන්ගේ අවශ්‍යතාවයක් පවතින බවත්, දේශපාලනයේ සෑම තරාතිරමකම කාන්තාවන්ගේ සමාන නියෝජනයක් අවශ්‍ය බවත් හඳුනා ගැනීමට බොහෝ කාලයක් ගතවී ඇත.

අවම වශයෙන්, මෙම වසංගතය පාලනය කිරීමට සමත් වූ කාන්තා නායිකාවන්ගේ  සංඛ්‍යාව දෙස බලා හෝ ගෝලීය මහජන සෞඛ්‍යයට සහ ජාත්‍යන්තර ආරක්ෂාවට ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ඉතා වැදගත් බව අවධාරණය කර ගැනීම 
ඉතා වටී.
 
( සී.එන්.එන් වාර්තාවක් ඇසුරෙනි)

1 comment

Kishan

02 years 08 months 25 days 02 hours 24 minutes 55 seconds ago

මේක මහ ගොබ්බ තර්කයක්. වියට්නාමය, සිංගප්පූරුව වගේ රටවලුත් සාර්ථකව වසංගතය පාලනය කළා. ඒවයෙ ඉන්නෙ පිරිමි නායකයින්. නවසීලන්තය, අයිස්ලන්තය යන රටවලට වසංගත මර්දනය අසීරු නෑ මොකද ඔවුන්ට තියෙන්නෙ අඩු ජන ඝනත්වයක් සහ ජනගහණයක් නිසා

Reply

Leave a Reply

Post Comment