නිවසක් හරහා වාතාශ්‍රය ගලා යාමට (Cross Ventilation) මැද මිදුලක් නිර්මාණය වීම අතිශයින්ම සාධනීය ලෙස බලපායි. එක් පසෙකින් කොපමණ වාතාශ්‍රය ගලා ඒමට මාර්ගයක් තිබුණද අනෙක් පස ඇහිරී ඇත්නම් ඒ දෙසින් වාතාශ්‍රය ගලා ඒම නවතී. එබැවින් නිවස තුළ මැද මිදුල හරහා උණුසුම් වාතාශ්‍රය ඉහළට ඇදී යන නිසා අනෙක් පසින් සිහිල් වාතාශ්‍රය ගලා ඒමෙන් නිවස තුළ සෞම්‍ය පරිසරයක් ගොඩනැගේ.

කොපමණ පිරිවැයක් දරා අලංකාර විධිවලින් අනූන සිත් ඇදගන්නාසුලු නිවසක් නිර්මාණය කළද නිවසක් නිර්මාණය කිරීමේ ප්‍රාථමික අවශ්‍යතාව ඉටුවනුයේ සෞඛ්‍ය සම්පන්නව ජීවිතය ගතකිරීමට අවශ්‍ය පරිසරය ඒ නිවස තුළ ගොඩනැගෙන්නේ නම් පමණි. ඒ සඳහා මූලිකව අවශ්‍ය සාධකය වනුයේ නිවස තුළට ආලෝකය හා වාතාශ්‍රය හොඳින් ගලා ඒමයි. මැද මිදුලේ සංකල්පය නිවසකට ආදේශ වන මූලිකම හේතු සාධකය වන්නේ එම අවශ්‍යතාව ඉටු කිරීමටයි.

මෙරට නිවාසවල මැද මිදුල් නිර්මාණය රැල්ලක් බවට පත්වූයේ අපේ රටේ ගෘහ නිර්මාණ ශිල්පයට විශාලතම (සාධනීය) බලපෑමක් ඇතිකළ ඕලන්ද යටත් විජිත යුගයේදීය. මෙරට අව්ව සහ වැස්ස ගලන ආකාරය සලකමින් ආනති වහල නිර්මාණය කරමින් ජනප්‍රිය වූ ඕලන්ද සම්ප්‍රදායේ නිවාසවල ඇතුළත අවකාශ සඳහා ආලෝකය හා වාතාශ්‍රය ගලා ඒම සඳහා මෙලෙස මැද මිදුල් නිර්මාණය විය.

බොහෝ විට වලව් සම්ප්‍රදාය හා මහේශාක්‍ය නිවාස ඇසුරෙන් ජනප්‍රිය වන්නට වූ මෙම මැද මිදුල් නිර්මාණය ඉංග්‍රීසි යුගයෙන් අනතුරුව ක්‍රම‘යෙන් වෙනස් වූ නමුත් මෑත කාලයේදී වැඩි ජනප්‍රියතාවක් උසුලන්නට විය. අතීතයේ විශාල නිවෙස්වල නිර්මාණය වූ මැද මිදුලේ සංකල්පය වර්තමානයේ පර්චස් හයේ හතේ නිවසකට පවා එක්කර ගැනීමට වාස්තු විද්‍යාඥයන් සේම නිවැසියන්ද උත්සුක වේ. වර්තමානය වන විට බොහෝ විට එය භාවිත වනුයේ හිරු එළිය හා වාතාශ්‍රය යන මූලික අවශ්‍යතාවෙන් එහාට ගිය 'Feature' හෙවත් නිවසට අලංකාරය උදෙසා වන විශේෂාංගයක් ලෙසිනි.

නවීන නිවෙස්වල පූජා ස්ථානය ලෙස බහුලව යොදා ගැනෙනුයේ මැද මිදුලයි. විශේෂයෙන්ම එසේ සිදුකරනුයේ ඒ වටා ගොඩනැගෙන නිදහස්කාමී එළිමහන් බව, නිවසේ පූජා කටයුතු කර ගැනීමට අවශ්‍ය සාමකාමී පරිසරය ගොඩනගන නිසා වන්නට පුළුවන.

අත්තනගලු වලව්ව ලෙස ප්‍රකට මෙම වලව්වේ මැද මිදුල් තුනක් පමණ දක්නට ලැබේ. ඕලන්ද යුගයට අයත් වලව්වක සාම්ප්‍රදායික ගෘහ නිර්මාණ ලක්ෂණ මෙහි මනාව දක්නට ඇත. 

පැරණි වලව් සම්ප්‍රදාය ආභාසයට ගනිමින් නූතන ගෘහ නිර්මාණ ශෛලීන් එක්කර නිර්මාණය වූ නිවසක මැද මිදුලක්. වහලවල වැහි වතුර සම්පූර්ණයෙන්ම මෙම මැද මිදුලට ගලන අතර ඒ ජලය බට අධාරයෙන් නිවසින් පිටතට ගලායාමට සලස්වා ඇත. මෙම මැද මිදුලේ පොළොව කළුගල් පතුරුවලින් නිමවා තිබේ.​

මෙම මැද මිදුල පසෙකින් ආවරණය කර ඇත්තේ යකඩ පට්ටම්වලිනි. සුළං වැස්සෙන් ආවරණය වීම සඳහා මෙම නිමාව ගොඩනැගී ඇති අතර, මහල් තුනක් තෙක් ඉහළට එය නිර්මාණය වී තිබේ.​

සටහන හා ඡායාරූප - මාලක වැලිගොඩපොල

 

 

0 comments

Leave a Reply

Post Comment