ආසියාවේ පමණක් නොව බටහිර රටකද නිවසේ කෑම මේසය එම නිවසේ සියලු සාමාජිකයන්ගේ දුක, සොම්නස, ජය පරාජය එදිනෙදා ඕපාදූප ආදී සියල්ල එකිනෙකා අතර හුවමාරු වන තැනයි. නිදන කාමරවලට වී හුදකලාව පෞද්ගලික ජීවිත ගතකිරීමට සාපේක්ෂව නිවසේ කෑම කන ස්ථානය කියන්නේ තමාවත් තමාගේ පවුලේ සාමාජිකයන්වත් නිවැරදිව හඳුනාගත හැකි ස්ථානයයි.

නිවසක අමුත්තන් එකතුවෙන, ප්‍රිය සම්භාෂණයේ යෙදෙන වඩාත් ආකර්ෂණීය ස්ථානය සාලය වන නමුත්, නිවැසියන්ව එකම ස්ථානයකට කේන්ද්‍ර කෙරෙන ඔවුන්ගේ සියලු සාකච්ඡාවලට අවකාශයක් තනන්නේ එම නිවසේ කෑම කන ස්ථානයයි. එය දෙස් විදෙස් භේදයකින් තොරව ලෝකයටම පොදු වූ තත්ත්වයකි.

කාර්යබහුල ජීවිතයත් සමග කෑම මේසයක වාඩි වී ආහාර ගැනීමට තරම් විවේකයක්, නිදහසක් වර්තමානයේ ජීවත් වන නාගරික මිනිසුන්ට සොයා ගැනීමට අපහසු වුවත් තම පවුලේ සාමාජිකයන්ගේ එකමුතුව බැඳීම ශක්තිමත් වීමට අවම වශයෙන් දවසට එක ආහාර වේලක්වත් කෑම මේසයේ වාඩි වී එකට ගතයුතු යැයි වගකීම්සහගත දෙමව්පියෝ සිතති. දූදරුවන්ගේ පාසලේ කටයුතු, යහළු යෙහෙළියන් අතර සම්බන්ධතා, අධ්‍යාපනික ප්‍රශ්න වගේම පවුලක දෙමව්පියන්ගේ එදිනෙදා තොරතුරු පවා කෑම මේසයට ගෙනෙන්නට පුළුවන් නම් එම පවුලේ සාමාජිකයන් එකිනෙකා අතර ඇති කරගන්නා දැනුවත්භාවය ඉතා වැඩි වනු ඇත.

ඒ නිසාම කෑම කන ස්ථානය වෙනත් විනෝදාස්වාද විශේෂාංගවලින් තොරව තිබීම ඉතාම වැදගත් වේ. විශේෂයෙන් නිවසේ රූපවාහිනිය කෑම කන ස්ථානයේම ස්ථානගත වී ඇත්නම් එය පෙර කී ධනාත්මක කාරණා සියල්ල නැතිකර දමන්නට හේතු වනු ඇත. තවද එය නිදහස් පරිසරයක පිහිටයි නම් එහි වැඩි කාලයක් පවුලේ සාමාජිකයන් ගත කරන ස්ථානයක්ද වනු ඇත.

වර්තමානයේ නිවාස සංස්කෘතිය ගොඩනැගෙන්නේ නිවැසියන්ගේ ජීවිත වින්දනය කිරීමට වඩා අමුත්තන්ව සතුටු කිරීමට නිසා කෑම කන ස්ථානයද අමුත්තන්ට ඔබින ලෙස නිර්මාණය කරන්නට දරන උත්සාහයන් බොහෝමයි. ඒ නිසා කෑම මේසයද සුඛෝපභෝගීත්වය අඟවන සාධකයක් ලෙසයි නිර්මාණය වන්නේ. ඒ වෙනුවට මුළුතැන්ගෙයි හෝ පැන්ට්‍රි කොටසේ ඉතාම අල්පේච්ඡ විදිහට අසුන්ගත හැකි ස්ථානයක් නිවැසියන්ගේ ආහාර ගැනීම සඳහා නිර්මාණය වීම එක්තරා කනගාටුදායක තත්ත්වයකි. කෙසේ නමුත් කෑම මේසයක් හොඳින් ආලෝකය හා වාතාශ්‍රය ගලන ස්ථානයක පිහිටුවීම ඉතා වැදගත් වේ. මන්ද ආහාර හොඳින් දර්ශනය වීමටත්, ඇහැට ප්‍රිය උපදවන නිදහස් පරිසරයක සිට ආහාර ගැනීමටත් ඉන් පරිසරය සකසා දෙයි.

කෘත්‍රිම ආලෝකය මගින් ආලෝකමත් වන අවකාශයක් නම් එම ආලෝකය කෑම මේසයට ඉහළ සිට පහළට ගලා එන ලෙස ආලෝක ප්‍රභව නිර්මාණය කර ගත යුතු වන්නේ මේසය මතට ඒ වටා සිටින අයගේ සෙවණැලි පතිත වීම මඟහරවා ගැනීම සඳහායි. අනෙක් වැදගත්ම කාරණය නම් අවකාශ කෙතරම් අලංකාරවත්ව නිර්මාණය කර ගන්නවාට වඩා කෑම කන ස්ථානය මුළුතැන්ගෙට ඉතාම ආසන්නයෙන් නිර්මාණය කර ගැනීමයි. නැතිනම් අමුත්තන්ට සංග්‍රහ කරන අවස්ථාවකදී පවා ආහාරපාන මුළුතැන්ගෙයි සිට ගෙන ඒම ඉතා අපහසුවන අතරම ඒ අතර මැද අවකාශය ඉක්මනින් අපවිත්‍ර වීමටද ඉඩක් ඇත.

බොහෝ විට උස පුටු කෑම මේසයකට එක්කරන ජනප්‍රිය සංස්කෘතියක් ඇතිමුත් දැන් දැන් පුටු වෙනුවට බංකු පවා ආසන වශයෙන් කෑම මේසයකට එක්කරනු ලබයි. ඒ නිසා ඔබත් සෑමවිටම ජනප්‍රිය සංස්කෘතියේ අංග පසුපසම හඹා නොගොස් ඔබේ පවුලට ගැළපෙන, පවුලේ සාමාජිකයන් වඩාත් ආකර්ෂණය කරවන ස්ථානයක් ලෙස ඔබේ කෑම කන ස්ථානය නිර්මාණය කරගැනීමට උත්සුක වීම වඩාත් අගනේය.

සටහන  හා ඡායාරූප - මාලක වැලිගොඩපොල

 

0 comments

Leave a Reply

Post Comment