අප එකිනෙකාට ආවේණික වූ විවිධ පුරුදු ඇත. ඉන් සමහරක් යහපත් පුරුදු වන අතර, බොහෝ විට අයහපත් යයි සම්මත පුරුදු එකක් හෝ දෙකක්ද අනිවාර්යයෙන්ම බොහෝ දෙනා තුළ ඇත. මෙම පුරුදු (Habits) පිළිබඳව මනෝවිද්‍යාත්මක විග්‍රහයක් සඳහන් වන ග්‍රන්ථයක් ලෙස 'Better Than Before' කෘතිය හඳුන්වාදිය හැකිය. මෙය රචනා කර ඇත්තේ ඇමරිකානු ජාතික ලේඛිකාවක් වන ග්‍රෙචන් රුබින් විසිනි.

සාමාන්‍ය ව්‍යවහාරයේදී 'පුරුදු' යනු අපගේ දෛනික හැසිරීම් තුළින්ම ගොඩනැගෙන දෙයකි. දිනපතාම එකම හැසිරීම් රටාව අනුගමනය කිරීමෙන් පසු එම හැසිරීම්, පුරුදු බවට පත්වන්නේ, ඉබේටම මෙනි. ග්‍රෙචන්ට අනුව පුරුදු යනු අප එදිනෙදා ජීවිතයේ අදෘශ්‍යමාන ගෘහ නිර්මාණ ශිල්පියා වේ. අප තුළ යහපත් පුරුදු ඇතිකර ගැන්මට නම්, අප තුළ ස්වයං විනයක් ඇති විය යුතුය. අප ජීවිතයේ වෙනස්කම් සිදුකර ගැන්මට නම් අප තුළ පවතින පුරුදු වෙනස් කර ගත යුතුය.

එමෙන්ම, කතුවරිය සඳහන් කරන පරිදි, අප ජීවිතයට අප එකතුකර ගත යුතු අනිවාර්ය, එමෙන්ම වැදගත් පුරුදු හතක් ඇත. එනම් සෞඛ්‍යසම්පන්න ආහාරපාන ගැනීම, ව්‍යායාම්හි යෙදීම, මුදල් නිසි ලෙස කළමනාකරණය කර ගැනීම, විවේක ගැනීම, සම්බන්ධතා යහපත් ලෙස පවත්වා ගැනීම යනාදිය වේ. කෘතියෙහි මේවා දැක්වෙන්නේ 'Essential Seven' යනුවෙනි.

ග්‍රෙචන් ඇයගේ කෘතියෙහි වැඩිදුරටත් සඳහන් කරන පරිදි, අපට කිසියම් අයෙකු තුළ යහපත් වෙනසක් ඇති කිරීමට නම්, එම පුද්ගලයා තුළ ඇති පුරුදු, ප්‍රථමයෙන් හඳුනා ගත යුතුය. තමන් තමාවම හඳුනා ගැනීම තුළින්, තමා තුළම යහපත් පුරුදු ඇති කරගැන්මට උපාය මාර්ග හඳුනාගත හැකිය.

එසේ වූ නමුත්, අප තුළ පවත්නා ස්වයං විනය, අපගේ සමහර පුරුදු නිසාවෙන් මගහැරෙන අවස්ථා බහුලය. ඵලදායී ලෙස තමා තුළ පවතින අයහපත් පුරුදු, දුරු කිරීමට තම සිත තුළ ඇති ප්‍රවණතාවය මූලිකවම දැන ගත යුතුය. එමෙන්ම හැකිතරම් කාලසටහනකට අනුව (scheduling) අනුව වැඩ කරන්නට පුරුදු පුහුණුවීමෙන්ද වඩාත් සාධනීය ලෙස, යහපත් පුරුදු ගොඩනගා ගැනීමට එය ඉවහල් වන බව කතුවරිය වැඩිදුරටත් මෙම ග්‍රන්ථයෙහි සඳහන් කරන්නීය.

අප තුළ යහපත් පුරුදු ගොඩනගා ගැන්මට උත්සාහ කරන විට, අප තුළ බලාපොරොත්තු ඇතිවන්නේ නිතැනිනි. එම නිසා අප එම බලාපොරොත්තුවලට ප්‍රතිචාර දක්වන අයුරු මෙහිදී වැදගත් සාධකයක් වන ආකාරයද 'Better than before' ග්‍රන්ථයෙන් පෙන්වා දෙයි. එම නිසා විරල මාතෘකාවක් ඔස්සේ ප්‍රබල මනෝ විද්‍යාත්මක විග්‍රහයක යෙදෙන්නට උත්සාහ දරන 'Better Than Before' ග්‍රන්ථය, ජීවිතයට වටිනාකම් එකතු කරන අගනා ග්‍රන්ථයකි.

නීතිඥ ප්‍රියාශා රන්වල 

0 comments

Leave a Reply

Post Comment