විටෙක අසරණයන්ට හිතවතෙකු වෙමින්ද, තවත් විටෙක අගතියට පත් දරුවන්ට මවක් වෙමින්ද මධ්‍යම පළාතේ සමාජ සුභසාධන පරිවාස සහ ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරිය ලෙස දැඩි වගකීම් රැසක් හොබවන  ඩී.එම්.සී.චින්තිකා ගුණරත්න මහත්මිය, ජාතික නිදහස් අරගලයට කැපවූ විරුවන් බිහි කළ ඌවවෙල්ලස්සේ වැලිමඩ සිට සුන්දර වූ කඳුකරයට පැමිණ මුල් පුටුව හොබවන කාන්තාවකි.

මම උපන්නේ වැලිමඩ නගරයට ආසන්න සුන්දර ගම්මානයක. මගේ පියා විදුහල්පතිවරයෙක්. ඔහුගේ නම ඩී.ඇම්.ගුණරත්න. අනුලා ඒකනායක මගේ අම්මා. ඇය  ගුරුවරියක ලෙස සේවය කළා. නංගී සහ මල්ලී සමග පවුලේ මද්දුමයා ලෙස ගමේ ගත කළ ළමා විය අදටත් සිහිපත් වෙනවා. මම  මූලික අධ්‍යාපනය සඳහා වැලිමඩ ප්‍රාථමික පාසලට ගියා. 1986දී මහනුවර උසස් බාලිකා විද්‍යාලයට ඇතුල් වී උසස් පෙළ දක්වා අධ්‍යාපනය කළා. මහනුවරට පැමිණ බෝවල අනුලා වික්‍රමසිංහ නම් මහත්මියකගේ නිවසේ නතර වී අධ්‍යාපන කටයුතුවල යෙදුණා. එතෙනදි ඇය මගේ මවක සහෝදරියක මෙන් දක්වන ලද රැකවරණය සිහිපත් නොකළොත් ඒක අඩුවක්. මගේ ගමේ ජීවිතය හරිම රසවත්. ගමේකම අදටත් මට දැනෙනවා. පවුලෙන් සහ ගමෙන් ලැබුණු ආශිර්වාදය නිසා මම මහනුවර උසස් බාලිකාවේදී දක්ෂකම් පෙන්වූ සිසුවියක බවට පත්වුණා.

 පාසලේදී බාහිර වැඩ කටයුතුවලත් යෙදුණා. සීනියර් හවුස් කැප්ටන්වරයෙකු ලෙස පත්වුණා. 1986 සිට පෙරදිග ගායන කණ්ඩයමේ  හිටියා. සමුද්‍රදේවි නාට්‍යයයේ රඟපෑමට ලැබීමත් ආශිර්වාදයක්. ජනමාධ්‍ය සහ ලේඛන කටයුතුවල යෙදුණා. ඒ සාමූහික බව මට ලැබුණේ එදා ගම කියන සංස්කෘතිය තුළ ජීවත් වුණු ළමා කාලයේ ලබාගත් සාමූහිකත්වය, කණ්ඩායම් හැකියාව, කැපකිරීම් නිසා වෙන්න ඇති.  

ජීවිතයේ තවත් කඩඉමක් හැටියට උසස්පෙළ විභාගයෙන් පස්සෙ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පිඨයට වරම් ලැබුණා. භෞතික විද්‍යාව, රසායන විද්‍යාව සහ ශුද්ධ ගණිතය විෂයන් තෝරා ගත්තා. 

මගේ පළමු රැකියාව හැටියට 2001 වසරේදී කම්කරු නිලධාරිවරයෙකු ලෙස හපුතලේ කම්කරු කාර්යාලයට පත්වීමක් ලැබුණා. වතුකරයේ සහ කම්කරු ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් එතෙනදි හොඳ අවබෝධයක් ලැබුණා.

 ඒ අතර අධ්‍යාපන පරිපාලන සේවා විවෘත තරගයට පෙනී හිටියා. එයින් සමත් වුණා. නුවරඑළිය කලාප අධ්‍යාපන කාර්යාලයේ  ගණිතය විෂයභාර සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙස කටයුතු කළා. මගේ අම්මත් දක්ෂ ගණිත ගුරුවරියක් නිසා මටත් ඒ පිහිටීම ඇති. රැකියාවක් කළත් පවතින අවස්ථාවන් අතහැරීමට මම කැමති වුණේ නැහැ. රාජ්‍ය පරිපාලන සේවා විභාගයට පෙනී හිටියා. එය සමත්වී 2006 මාර්තු මාසයේදී පාතහේවාහැට සහකාර  ප්‍රාදේශීය ලේකම්වරිය ලෙස  පත්වීම ලැබුවා. එතැන ගත කළ අවුරුදු අටක කාලයේදී අත්දැකීම් බහුලව ලබාගැනීමට හැකි වුණා. එයින් පසු ටික කලකට විදේශගත වීමට නිවාඩු ලබාගත්තා. ඒ මහත්මයාගේ වැඩිදුර අධ්‍යාපන කටයුතු වෙනුවෙන්. ඔහුට සහය පිණිස මම ඒ තීරණය ගත්තා. නැවත පැමිණ පන්විල ප්‍රාදේශීය ලේකම් ලෙස අවුරුදු එකහමාරක පමණ කාලයක් කටයුතු කළා.

ඒ අතර මධ්‍යම පළාත් සභාවේ දැනට දරණ කොමසාරිස් තනතුරට පත්වුණා. අභියෝගාත්මක මෙම තනතුර ගැන මට තියෙන්නේ තෘප්තියක්. මගේ සේවාලාභීන් වන්නේ අභියෝගකාරී ඉලක්ක කණ්ඩායමක් කිව්වොත් නිවැරදියි. අසරණ වූ ළමුන්, වැඩිහිටියන්, සමාජ ආර්බුදවලට මුහුණදුන් ජනතාව වෙනුවෙන් මම මගේ කාර්යමණ්ඩලය සමග කටයුතු කළ යුතුයි. ඔවුන්ගේ මානසිකත්වය පැහැදිලිව තේරුම් නොගෙන මේ රැකියාව කරන්න බැහැ. ඇත්තෙන්ම ඔවුන් අසරණයි. මගේ වෘත්තීය මැදිහත්වීම තුළ ලද ජයග්‍රහණ අපමණයි. ගිණුම් ක්‍රියාවලිය කාර්යක්ෂම කිරීම සඳහා වන රාජ්‍ය ගිණුම් කාරක සභාවේ 2016 සහ 2017 සහ 2018 රන් සම්මානය මගේ දෙපාර්තමේන්තුවට අත්කර ගැනීමට ලැබුණා.

මේ හැමදෙයක් අතරම පවුලේ දරුවන්ගේ කටයුතුවලට මැදිහත් වීමත් අවශ්‍යයි. දරුවන් තිදෙනාගෙන් දියණිය මහනුවර උසස් බාලිකාවට යනවා. පුතුන් දෙදෙනා කිංස්වුඩ් විද්‍යාලයේ හතරවන පන්තියේ ඉගෙනුම ලබනවා. මගේ මහත්තයා මුදිත අබේකෝන්. එයා කෑගල්ල රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරනවා. අම්මත්, තාත්තාත් දෙදෙනාම නිවසින් පිටත රාජකාරි කරනවිට පාසලෙන් නිවසට එන දරුවන්ට අවශ්‍ය ආරක්ෂාව පහසුකම් සැපයීමේ ප්‍රශ්නය ස්වාභාවිකයි. එය කාටත් පොදු ප්‍රශ්නයක්. ඒ වෙනුවෙන් කෙනෙකු නිවසේ නතර කරගෙන සිටිනවා. හෙට උදේ කළයුතු වැඩවලින් කළ හැකි බොහෝ දේ රාත්‍රී කාලයේදී අවසන්කර නින්දට යනවා. එනිසා අපහසුවක් නැහැ. ගෙදරදොර කටයුතුවලදී මහත්තයත්, මමත් තියෙන දේ බෙදාගෙන කරනවා. උයනපිහන හැමදෙයක්ම කෙරෙන්නේ මගේ අතින්. අපි දෙන්නගෙම වෘත්තීය ජීවිතය කාර්යබහුලයි. එහෙත් හැමදෙයක්ම තෘප්තිමත් ආකාරයෙන් සිදුවෙනවා.

 අප්පච්චි ඉන්න කාලෙ නිතරම නිස්සරණ අධ්‍යාශය ගැන ඒ කියන්නේ යමක් අපිට ලැබේ යැයි නොසිතා උපරිමයෙන් කටයුතු කරන්න කියා උපදෙස් දුන්නා. මම හිතන්නේ අපිට ලැබිය යුත්තේ අනුන් අප සේවයෙන් ලබන තෘප්තිය පමණයි. අපි රැකියාවේ තෘප්තිය කියන්නෙත් ඒකටනේ. ඒ නිසාම ඇත්තෙන්ම මම තෘප්තිමත්. එහෙම නොවෙනකොට සමහරු රැකියාවට එන්නෙත් බියකින්. ඔවුන් ඒ කනස්සල්ල නිසා අපහසුවට පත්වෙනවා. ඒක නොවිය යුතු දෙයක්. එවිට මහජනතාවට නිසි සේවය ඉටුකිරීමට ඒක බාධාවක්.

සාකච්ඡා සහ ඡායාරූප - ලාල් ජයසුන්දර 

0 comments

Leave a Reply

Post Comment