සිනමා ශිල්පිනියන් හා සමාජ ක්‍රියාකාරිනියන් එක්ව සංවිධානය කරන ‘කොළඹ ජාත්‍යන්තර කාන්තා චිත්‍රපට උළෙල’ මේ මස 15 වැනිදා සිට 22 වැනිදා දක්වා කොළඹ ජාතික චිත්‍රපට සංස්ථාව, ජර්මානු සංස්කෘතික ආයතනය, American Center -Colombo සහ  Alliance Francaise de Kotte හිදී පැවැත්වේ. ජාත්‍යන්තර කාන්තා ක්‍රියාකාරිකයන් රැසක්ද සහභාගි වීමට නියමිත මෙම උළෙල සංවිධානය කරනු ලබන්නේ ප්‍රවීණ චිත්‍රපට සංවිධායිකා අනෝමා රාජකරුණා විසිනි. ශ්‍රී ලංකාවේ සිටින එකම ක්‍රියාකාරී චිත්‍රපට සංවිධායකවරියද වන ඇය සමගින් කතාබහක යෙදීමට අප සිතුවේ එබැවිනි.

‘කොළඹ ජාත්‍යන්තර කාන්තා චිත්‍රපට උළෙලක' අවශ්‍යතාවය

ලෝක සිනමාව තුළ පවතින කාන්තා නියෝජනය සියයට පනහක් දක්වා ගෙන ආ යුතු බවට දැන් වෙද්දි මතයක් ගොඩනැගී තියෙනවා. 2016 වසරේදී ආරම්භ කළ මෙම සමාජ ව්‍යාපාරයේ එක් පියවරක් විදිහට තමයි කොළඹ ජාත්‍යන්තර කාන්තා චිත්‍රපට උළෙල ක්‍රියාත්මක වෙන්නේ. ලංකාව තුළත් කෙටි චිත්‍රපට අංශයේ පසුගිය වසර හතර තුළ කාන්තා චිත්‍රපටකරුවන්ගේ ශීඝ්‍ර දියුණුවක් දකින්න ලැබෙනවා. ඒ ඇරෙන්න තාක්ෂණික අංශය ආදිය තුළ කාන්තාවන්ගේ වැඩි නැඹුරුවක් දකින්න නැහැ. එවැනි පරිසරයක තමයි කාන්තාව කේන්ද්‍ර කරගත් සිනමා උළෙලක අවශ්‍යතාවය පැන නගින්නේ. ඒ නිසයි හොඳ දෙවැනි පෙළක් නිර්මාණය කිරීමේ අරමුණින් මෙවැනි උළෙලක් සංවිධානය කෙරෙන්නේ. මෙම පුහුණුව තමයි අපි මේ හරහා ලබාදෙන්න උත්සාහ කරන්නේ.

කාන්තා සිනමාවේ විශේෂත්වය

කාන්තා සිනමාකරුවන්ගේ නිර්මාණ සෙසු නිර්මාණවලට වඩා වෙනස්. ඔවුන් ලෝකය දකින විදිහ වෙනස්. ඔවුන් කතා කරන්නේ අම්මලාගේ කතා. දූවරුන්ගේ කතා. බිරින්ඳෑවරුන්ගේ කතා. ඒ වගේම කාන්තාවක් විවාහ විය යුතුද යන්න ප්‍රශ්න කරන තනිකඩ කාන්තාවන්ගේ කතාත් මෙම චිත්‍රපට උළෙලේදී දිගහැරෙනවා. මෙම නිර්මාණ බොහොමයක් ප්‍රධාන ධාරාවේ සිනමාවේ දක්නට නොලැබෙන චිත්‍රපට වීමත් ප්‍රේක්ෂකයන්ට අලුත් අත්දැකීමක් වේවි. ඒ නිසා වෙනත් සිනමා උළෙලවලට වඩා කාන්තා සිනමා උළෙලක් කියන්නේ වෙනස්ම හැඩයක්. මොකද ඔවුන් සිනමාවට ප්‍රවේශ වන ආකාරය වෙනස්. භාවිත කරන තාක්ෂණික උපක්‍රම වෙනස්. ඒ අනුව කාන්තාවන් විසින් කාන්තාවන්ගේ ජීවිත පිළිබඳ කෙරෙන විවරණයත් වෙනස්. 

කාන්තා චිත්‍රපට පනස් නවයක්

අපි මෙවර රටවල් විසි අටකින් චිත්‍රපට නිර්මාණ පනස් නවයක් මෙම චිත්‍රපට උළෙලට දායක කර ගත්තා. ඒ වගේම 'Men for Women' නමින් විශේෂ අංශයක් මෙවර පැවැත්වෙනවා. එහිදී පිරිමින් විසින් කාන්තාවන් පිළිබඳ කළ විවරණ රැගත් චිත්‍රපට හතරක් තිරගත කරනවා. ලබන සිකුරාදා (20දා) උදෑසන දහයට ජර්මානු ජාතික සිනමා අධ්‍යක්ෂවරියක් වන ටට්ජානා ටුරාන්ස්කිජ් මෙහෙයවන 'Capturing the Essence' නම් සිනමා වැඩමුළුවකුත් කාන්තාවන් වෙනුවෙන් පැවැත්වෙනවා.

කාන්තාව පිළිබඳ දැක්ම  

අපි හරි කැමතියි යුනිෆෝම් සමාජයකට. ඒ ඔස්සේ තමයි කාන්තාව දකින්නත් කැමති. ඒ නිසා ඇය ගෘහස්ථමය වශයෙන් වගේම ඉන් පිටතදීත් තමන්ගේ පවුල වෙනුවෙන් සිදුකරන ආර්ථිකමය කැපවීම සාකච්ඡාවට ලක් කෙරෙන්නේම නැති තරම්. නමුත් සෙසු සමාජවල මෙවැනි තත්ත්වයක් දකින්න නැහැ. ඒකෙන් මම අදහස් කරන්නේ නැහැ කාන්තාවට මල් පෝච්චියකට දාලා සලකන්න කියලා. ඒත් තමන්ගේ දක්ෂතාවයට, දැනුමට සුදුසු විදිහට ජාත්‍යන්තරය කාන්තාවට සලකනවා. කොහොම නමුත් අලුතින් හිතන කාන්තා පිරිසක් බිහිවෙමින් පවතින බවයි පෙනෙන්නේ. තත්ත්වය වෙනස් වෙමින් යනවා. ඒ නිසා තව තවත් මෙවැනි ජයග්‍රහණ ළඟා කර ගත යුතුයි. එතකොට තමයි අපේ සමාජය කාන්තාව නිවැරදිව කියවා ගන්නෙ.

පිරිමි මැද සටන් වදින එකම චිත්‍රපට සංවිධායකවරිය

තමන්ගේ සුරක්ෂිතතාවය පිරිමියා මත රඳා පවතිනවා කියල අපේ සමාජය තුළ මතයක් පවතිනවා. ඒත් අද වෙද්දි පිරිමියාටත් සුරක්ෂිතතාවය නොමැති සමාජයක් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. අනෙක සමාජයක් විදිහට අපි එවැනි සුරක්ෂිතතාවයක් ගොඩනගා ගැනීමට කරන මැදිහත්වීම මොකක්ද කියන එකත් ප්‍රශ්නයක්. අපි තාමත් කරපින්නාගෙන යන්නේ කුහක වික්ටෝරියානු දැක්ම. අපි ජීවත් වෙන්නෙ යටත්විජිතකරණය වූ සමාජයක. ඒ නිසා තමන්ගේ කාර්යය පිළිබඳ පවතින කැපවීම සහ ප්‍රතිපත්තගරුක වීමයි වඩා වටින්නේ. නැතුව ස්ත්‍රී පුරුෂ භේදය නෙමෙයි. මොකද මගේ රැකියාව සිනමාව නෙමෙයි. ඒක මගේ විලාසිතාව. ඒත් මම මගේ දින චර්යාවෙන් වැඩි වේලාවක් වෙන් කරන්නේ ඒ වෙනුවෙන්. ඒ තුළ මට ජයග්‍රහණ වගේම පරාජත් උරුම වෙලා තියෙනවා. විශේෂයෙන් යාපනය ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී මට විවිධ අභියෝගවලට හා දුෂ්කරතාවලට ලක්වෙන්න සිද්ධ වුණා. එහි පැවැති විවිධාකාර බෙදීම් ඊට තදින්ම බලපෑවා. පුද්ගලයන් කේන්ද්‍ර කරගත් න්‍යායපත්‍ර බලපෑවා. ඒත් මම මගේ උත්සාහය අත්හැරියේ නැහැ. මොකද මම විශ්වාස කළා ඒ සියලු බෙදීම්වලට අපි පිළිතුරක් සොයා ගත යුතුයි කියලා. ඒ නිසා ඒ සියලු පශ්චාත්තාප මැද ඉදිරියට ගියා. ඒ නිසා තමයි අද මට කාන්තා චිත්‍රපට උළෙලක් සංවිධානය කිරිම දක්වා ඉදිරියට යන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි රාජ්‍ය අනුග්‍රහය නොලැබෙන රටක මේ වෙනුවෙන් මට විවිධ පාර්ශ්ව වලින් අනුග්‍රහය ලැබී තියෙන්නේ. මා වටා ඉහළ සහෝදරත්වයක් ගොඩනැගී තියෙන්නෙත් ඒ නිසා.

ඉහළ කාන්තා සහයෝගයක්

ජ්‍යෙෂ්ඨ ශිල්පීන්ගේ පටන් ඉතා ඉහළ මට්ටමේ කාන්තා දායකත්වයක් මට මේ චිත්‍රපට උළෙල වෙනුවෙන් ලැබිලා තියෙනවා. ජාති භේද නොසැලකූ අනුග්‍රාහකත්වයකුත් මට ලැබුණා. ඒ නිසා මූල්‍යමය ප්‍රතිලාභ නොලැබෙන මෙවැනි කටයුත්තකට ඔවුන්ගෙන් ලැබෙන සහයෝගය මම අගය කළ යුතුමයි. ඒ වගේම යොවුන් චිත්‍රපට ශිල්පිනියන් අපිත් එක්ක අත්වැල් බැඳන් ඉන්නවා. ස්වෙච්ඡා සේවය සඳහාත් විශාල කාන්තා දායකත්වයක් මෙම උළෙල සඳහා අපට ලැබුණා. ඔවුන් තමයි අපේ අස්වැන්න.

වැඩි විස්තර -0778906505 
මාලන් විදානපතිරණ

චිත්‍රපට කාලසටහන -

මාර්තු 15 වැනිදා -

ප.ව.06.15 - Antiigone - රීගල් සිනමා ශාලාව 

මාර්තු 16 වැනිදා - 

පෙ.ව. 10.00 - Coral Woman - ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානය
ප.ව. 01.00 - Dance of the Butterfly - ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානය
ප.ව.03.15 - කෙටි චිත්‍රපට අංශය - Empire Cineplex
ප.ව.03.15 - Sami Blood - ජාතික චිත්‍රපට සංස්ථාව(තරංගනී)
ප.ව.06.15. - Gully Boy - ජාතික චිත්‍රපට සංස්ථාව (තරංගනී)

මාර්තු 17 වැනිදා -

පෙ.ව. 10.00 -Challenging the Stereotype (Discussion Forum on Women on Cinema) - ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානය
ප.ව.01.00 - Stefan Zweig : Farewell To Europe - ජර්මාන් සංස්කෘතික මධ්‍යස්ථානය
ප.ව.03.15 - කෙටි චිත්‍රපට අංශය - Empire Cineplex
ප.ව.03.15 - King Of The Belgians - ජාතික චිත්‍රපට සංස්ථාව (තරංගනී)
ප.ව.06.15. - Bird People - ජාතික චිත්‍රපට සංස්ථාව (තරංගනී)

මාර්තු 18 වැනිදා - 

පෙ.ව. 10.00 - Changing the Structure (Discussion Forum on Women in Politics) - ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානය
ප.ව. 01.00 - Are you going to school today (වාර්තා) - ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානය
ප.ව. 03.15 -The Magic Life OF V - ජාතික චිත්‍රපට සංස්ථාව (තරංගනී)
ප.ව.03.15 - කෙටි චිත්‍රපට අංශය - Empire Cineplex
ප.ව.06.15 - Alice Rohrwacher - ජාතික චිත්‍රපට සංස්ථාව (තරංගනී)
ප.ව.06.15 - The Beaches of Agnès(වාර්තා) - Alliance Françaiseහිදී

මාර්තු 19 වැනිදා -

ප.ව. 01.00 -Girlhood - ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානය
ප.ව.03.15 - Supa Modo - Empire Cineplex 
ප.ව.03.15 - La tête haute - ජාතික චිත්‍රපට සංස්ථාව (තරංගනී)
ප.ව. 06.15 - Rocks - ජාතික චිත්‍රපට සංස්ථාව (තරංගනී)
ප.ව. 06.15 - Louise by the shore - ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානය

මාර්තු 20 වැනිදා -

පෙ.ව. 10.00 - Capturing the Essence (Master Class on Women and Work) - ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානය
ප.ව. 01.00 - The Drifters - ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානය
ප.ව. 03.30 - Sea of Shadows(වාර්තා) - ජාතික චිත්‍රපට සංස්ථාව (තරංගනී)
ප.ව. 06.00 - Top Girl - ජාතික චිත්‍රපට සංස්ථාව (තරංගනී)
ප.ව. 03.30 - C'est ça l^amour -Empire Cineplex

මාර්තු 21 වැනිදා 

පෙ.ව. 10.00 - Gully Boy - ඉන්දියානු සංස්කෘතික මධ්‍යස්ථානය
ප.ව.01.00 - The Red Phallus - ජාතික චිත්‍රපට සංස්ථාව (තරංගනී)
ප.ව.03.15 - Goynar Baksho - ජාතික චිත්‍රපට සංස්ථාව (තරංගනී)
ප.ව. 03.15 - Mug -Empire Cineplex
ප.ව. 06.15 - Madaathy - ජාතික චිත්‍රපට සංස්ථාව (තරංගනී)

මාර්තු 22 වැනිදා - 

පෙ.ව.10.00 - On Women Making Films With (Women Making Films) - ඉන්දියානු සංස්කෘතක මධ්‍යස්ථානයේදී
ප.ව. 01.00 - Back Stage  - Empire Cineplex 
ප.ව. 01.00- Freedom Fields - ජාතික චිත්‍රපට සංස්ථාව (තරංගනී)
ප.ව. 03.15- 3 Days in Quiberon - ජාතික චිත්‍රපට සංස්ථාව (තරංගනී) 
ප.ව. 06.30 - Ghawre Bairey Aaj - රීගල් සිනමා ශාලාව

 

 

 

0 comments

Leave a Reply

Post Comment