ඇය නීතිඥවරියක්, හිටපු යුද සෙබළියක්, රූපවාහිනී නිවේදිකාවක්, ජීවිතය වෙනස් කරන පෞරුෂ සංවර්ධන උපදේශිකාවක්. බිරිඳක්, මවක් මෙන්ම සුන්දර ගැහැනියක්. 2018 විශ්ව විවාහක රූ රැජින තරඟ බ්ම නියෝජනය කරන්නට වරම් ලද Mrs. Sri Lanka කිරුළ දැරූ ඇය විශ්මිත ගැහැනියක නිසාම 'Wonder Woman' ඉඩ ඇයට මෙසේ වෙන්විය. 

මම නදීපා රණසිංහ. වෘත්තියෙන් නීතිඥවරියක්. මගේ ගම කළුතර වුණත් මම හැදෙන්නේ බෙලිහුල්ඔය ප්‍ර‘දේශයේ දුෂ්කර, නමුත් සුන්දර ගමක. මම හැදී වැඩෙන්නේ මගේ අත්තම්මා ළඟ. ළමා කාලය සුන්දර නිසාම මගේ පෞරුෂයට හොඳ අඩිතාලමක් වැටුණා. ඉන්පසුව මගේ හැකියාවන් එළියට එන්නේ ගුවන් විදුලියේ ළමාපිටිය වැඩසටහන හරහායි.  ඉන්පසුව රූපවාහිනියේ හඬකැවීම් ශිල්පිනියක ලෙසත්, මුතුහර ළමා සමාජයේ නිවේදන කටයුතුත් මා සිදුකළා.

උසස් පෙළට මා විසින් කරනු ලැබූ කෙටි කතා විචාරයක් හේතුවෙන් අවුරුදු 19දී මගේ සිංහල ගුරුතුමා වූ උපුල් ශාන්ත සන්නස්ගලයන් සමග පොතක් කරන්න මට අවස්ථාවක් ලැබුණා. මේ කාලයේ මගේ ජීවිතයේ රහසක් තිබුණා. ඒ තමයි Law of Attraction හෙවත් ආකර්ෂණයේ නීතිය.

මට අවුරුදු 18දී ඩේල් කානර්ගේ විසින් රචනා කරන ලද 'How to win friends and influence people' කෘතිය කියවන්නට ලැබුණා. අවුරුදු 18දී මගේ පියාගේ ව්‍යාපාර කඩන්වැටිලා ආර්ථික අපහසුතාවලට අපිට තදින් මුහුණදෙන්නට වුණා. දෙපාරක් උසස්පෙළ කරන්න අමතර පන්තිවලට වියදම්කරන්න මට සල්ලි තිබ්බේ නැහැ. මම පාසල් යන කාලයේ පාඩම් කරන්න කම්මැලි ළමයෙක්. නීති පීඨයට ඇතුළු වෙන්න නම් දිස්ත්‍රික්කයේ ඉහළම ප්‍රතිඵලයක් ලබාගන්න අවශ්‍යයි.

ඒ වගේම ඒ කාලයේ ලංකාවෙන්ම 200යි නීති පීඨයට තෝරා ගන්නේ. මම කියෙව්ව 'How to win friends and influence people' කෘතියේ සඳහන්වූ නියමයන් මම උසස් පෙළ විභාගයේදී පාවිච්චි කළා. ඒ අනුව පළමු වරම නීතිපීඨයට තේරුණා. නීතිපීඨයේ ඉගෙන ගන්න අතරතුර මාධ්‍ය වෙත සම්බන්ධ වෙන්න තිබුණ ආසාව නිසාම ස්වාධීන රූපවාහිනියට අයදුම්පතක් යොමු කළා. Live@8 ඉතාම ජනප්‍රිය තලයක තිබුණු කාලයේ මම ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙස ස්වර්ණවාහිනියට එකතු වුණා. අවුරුදු 5ක් මම දිනපතා ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස සේවය කළා. පසුව මම ස්වර්ණවාහිනියෙන් අස්වෙලා Senior Lawyer කෙනෙක් යටතේ වැඩ කලා.

පොඩි කාලේ ඉඳන්ම මට යුද හමුදාවට බැඳෙන්න ලොකු ආසාවක් තිබුණා. නමුත් ගෙදරින් එයට ඉඩක් දෙන්නේ නැහැ කියන හැඟීම මා තුළ තිබුණා. පත්තරයක දැන්වීමක් තිබෙනවා දැක්කා යුද හමුදාවට නීතිඥවරුන් බඳවා ගැනීම වෙනුවෙන්. මම ඒ දැන්වීම දිහා බැලුවේ මම වෙනුවෙන්ම පළකළ දැන්වීමක් ලෙසයි. ඒ අනුව මම හමුදාවට බැඳෙන්නට අයදුම්පතක් යොමු කළා. රතිඥා කරලක් පුපුරද්දී බය, බැලුමක් පුම්බද්දී පිපිරෙයි කියලා බය මම, හමුදා පුහුණුවේදී වෙඩි ශබ්දයට බය නිසා දඬුවම් පවා වින්දා. අවසානයේ මම හොඳම වෙඩික්කාරිය බවට පත්වුණා. යුද හමුදාවේ කටයුතු කරද්දී මට හිතුනා කසාද බැඳලා හොඳ බිරිඳක් වෙන්න නිදහස අවශ්‍යයි කියලා. ඒ අනුව මම යුද හමුදාවෙන් ඉවත් වෙලා Orange Electric ආයතනයේ නීතිවේදී තනතුරට ඉල්ලුම් කළා. එහි රැකියාව කරගෙන සිටින අතරතුර, මම විවාහ වුණා.

මවක් වෙන්න සිටියදී මවක් විදිහට මගේ දරුවාට අවශ්‍ය මවුකිරි හා මවු සෙනෙහස ලබා දෙන්නට හැමදෙයක්ම කැපකළ යුතුයි කියලා මම හිතුවා. ඒ අනුව මම රැකියාවට සමුදීලා දරුවා වෙනුවෙන් අවරුදු 03ක් වෙන් කළා. නමුත් මට පුරුද්දක් නැහැ ගෙදරට වෙලා නිකන් ඉන්න. ඒ අනුව Baby Product ආනයනය කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කළා. ඉදිරියේදී මෙම නිෂ්පාදන අපනයනය කිරීමට බලාපොරොත්තු වෙනවා.

දරු ප්‍රසූතියෙන් පස්සේ මගේ බර කිලෝ 85ක් වුණා. එහෙම ඉද්දී මට අවශ්‍ය වුණා විවාහක රූ රැජින තරගයට ඉදිරිපත් වෙන්න. ඒ අනුව මම ඉල්ලුම් පතක් යොමු කරලා මම මගේ සිරුරේ බර අඩුකර ගන්න ව්‍යායාම් හා ආහාර පාලනයන් සිදු කළා. මගේ කොණ්ඩය දිග නැහැ. දත් ටික කෙළින් ලස්සනට නැහැ. මම සුදු නැහැ. නමුත්  මම හිතුවා මගේ පෞරුෂයත් එක්ක යමක් කළ හැකියි කියලා. මම වෘත්තීමය නිරූපිකාවක් නොවෙයි. නමුත් තරගාවලියේදී 'Best Cat walk' කිරුළ හිමිවුණෙත් මට. විනිශ්චය මණ්ඩලයේ හා එම ක්ෂේත්‍රයේ කිසිම කෙනෙක් අඳුරන්නේ නැහැ. මම නිකන්ම නිකන් Lawyer කෙනෙක් විතරයි. නමුත් 2018 Mrs. Sri Lanka කිරුළ දිනා ගැනීමට මට හැකියාව ලැබුණා. එයින් පසුව මට මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ නවතම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට පණ පෙවීමට අවස්ථාව ලැබුණා. එහි විදේශීය නිළියන් සමග ප්‍රධාන චරිතයකට නවක කෙනෙකු විදිහට තේරුණ එකත් මගේ ජීවිතයට ලැබුණු ලොකු අවස්ථාවක්.

මෙහෙම මගේ ජීවිතේ ජයග්‍රහණ ලබද්දී මට හිතුණා අපේ රටට අවශ්‍යම දේ තමයි 'Law of Attraction'වල නියමයන් බව. ඒ අනුව මම හිතුවා මගේ රහස හැමෝටම බෙදා දෙන්නට.  ඒ වගේම මේ රහස මම නදීපා රණසිංහ නමින් නිර්මාණය කළ යූ ටියුබ් චැනලය හරහා සතිපතා නොමිලයේ හැමෝටම බෙදා දෙනු ලබනවා.

ලංකාවේ සමහර පළාත්වල දරිද්‍රතාව , ස්වාධීනත්වය නැතිවීම මත කාන්තාවන් මුහුණදෙන ගැටලුවල සාන්ද්‍රණය වැඩි වෙනවා. අපි බැලුවොත් වෙනමම ආදායම් මාර්ගයක් හා උගත්කමක් තිබෙන ස්වාධීන කාන්තාවක් සැමියාගෙන් අඩන්තේට්ටම් ඇතිවූ අවස්ථාවක යම් පිළිසරණක් පතන්න වැඩි වශයෙන් යොමු වෙනවා. එම පිළිසරණ නීතියෙන් වෙන්න පුළුවන්, නැත්නම් පවුල් උපදේශනයෙන් වෙන්න පුළුවන්. එසේත් නැතිවුණොත් යම් මනෝ වෛද්‍යවරයෙකුගෙන් වෙන්නත් පුළුවන්. ප්‍රශ්නයක් ඇතිවුණ ගමන් මරාගන්න තැනට යන්නේ නැතිව පියවරෙන් පියවර ඒ ගැටලුව ලිහාගන්න ගැහැනියක් යොමුවන්නේ ඇය ලබා ඇති අධ්‍යාපනය අනුවයි. තමන්ට ඒ ගැටලුව ලිහාගන්නම බැරි අවස්ථාවක දික්කසාදයට බය නැතිව කාන්තාවකට යොමුවෙන්න අවස්ථාව ලැබෙන්නේත්, තමන් ආර්ථික වශයෙන් ශක්තිමත් අවස්ථාවකයි.

ආර්ථික වශයෙන් හා අධ්‍යාපනික වශයෙන් ශක්තිමත් කාන්තාවකට  ජීවිතයේ ප්‍රශ්න දරාගන්න හොඳ හැකියාවක් තිබෙනවා. කාන්තාවට ස්වාධීනත්වයක් නැති අවස්ථාවක එනම් තමන්ගේ සැමියාගෙන් යැපෙනවානම්, දෙමාපියන්ගේ දේපළ මත යැපෙනවා නම් පවතින සමාජ ක්‍රමය මත අපිට යම් යම් ගැටලුවලට මුහුණ දෙන්නට සිදුවෙනවා. මොකද අපේ සමාජයේ දැන් තිබෙන ආකල්ප හරිම වෙනස්. ඇත්තට බැලුවොත් ගැහැනියකගේ වටිනාකම තීරණය විය යුත්තේ ඇගේ උගත්කම හෝ අධ්‍යාපනය මත නොවෙයි. ඇතැම් ගැහැනු ඉන්නවා උපාධි නොකළාට ජීවිතයේ පුදුමාකාර Qualities දකින්න පුළුවන්. නමුත් මේ Qualities කොයිතරම් තිබුණත් සමාජ මිනිසුන් මනින්නේ ආර්ථිකමය ශක්තිය මතයි. අපි ඉතිහාසයේ සිට බැලුවොත් හිංසනය කියනදේ ගලාගෙන යන්නේ ශක්තිය වැඩි තැනේ සිට අඩු තැනටයි. මේ ශක්තිය මානසික ශක්තිය හෝ ශාරීරික ශක්තිය හෝ ආර්ථික ශක්තිය වෙන්නට පුළුවන්. මේ නිසාම මම කිසිම ආර්ථික දායකත්වයක් නොමැතිව සිටින ගෘහණියන්ට නිතරම කියනවා අඩුම තරමේ ස්වයං රැකියාවක් හෝ කර යම් ආදායම් මාර්ගයක් හදාගන්න කියන දෙය පිළිබඳව. මොකද තමන් උපයන මුදල සුළු හෝ වේවා කාන්තාවකට එය ඉතාම වටිනවා. එය ගෙදරට යම් ඉපැයීමක් කළා කියන දෙයට වඩා තමන් තුළ ගොඩ නැගෙන පෞරුෂය හා ආත්ම විශ්වාසයට වඩාත් වැදගත්. විශේෂයෙන් මවක් වුණාම මව කරන දේවල් ඇයගේ දරුවන් දකිනවා. ඒ තුළ ගැහැනිය කියන කෙනා Role model එකක් බවට දරුවන්ගේ මනසට ඇතුළු වෙනවා. ඒ අනුව කාන්තාව කියන චරිතය කෙතරම් ප්‍රබල චරිතයක්ද කියන එක පොඩි කාලෙම දරුවන්ගේ මනසට ඇතුළු වෙනවා. ඒ කාන්තාවට පුතෙක් ඉන්නවා නම් එය වඩාත් ප්‍රබලව දැනෙනවා. ඉතින් ලංකාව වගේ රටක ජීවත් වෙද්දී කාන්තාවකට ජීවත්වෙන්න යම් යම් අපහසුතා ඇති වෙනවා. නමුත් අපි ශක්තිමත්නම්, මෙතනදී ආර්ථික , අධ්‍යාපනික හෝ මානසික වශයෙන් ශක්තිමත්නම් අපිට ජීවිතය ජයගන්න පුළුවන්. ගැහැනියක් යමක් ඉගෙන ගන්නවා කියන්නේ පරම්පරාවක් ඉගෙන ගන්නවා කියන එකයි. මවක් වුණාම ඔවුන්ගේ දරුවන්ට ඒ ඉගෙනීම අරගෙන යනවා.

මෙහිදී කියන්න ඕන මම Perfect චරිතයක් නොවෙයි. ගැහැනු විදිහට අපි හැමෝම Perfect නැහැ කියන එක තේරුම් ගත යුතුයි. ඒ වගේම හැමදේකම Perfection කියනදේ බලාපොරොත්තු නොවිය යුතුයි. උදාහරණයක් විදිහට මම වැඩකටයුතු රාශියක් සිදුකරන ගමන් බිරිඳක් ලෙස, මවක් ලෙස ලොකු යුද්ධයක් කරනවා. එහෙම කරන්නේ මම හැමදේම Perfect බලාපොරොත්තු නොවෙන නිසායි. රැකියාවක් නොකරන ඇතැම් කාන්තාවන්  ඉන්නවා ගෙදර කටයුතු හරිම පිළිවෙළට තිබීමට අවශ්‍යයි. ඔවුන්ට ගෙදර වැලි කැටයක් හරි තිබුණොත් නින්ද යන්නේ නැහැ. මට මේ වගේ ප්‍රශ්න නැහැ. මම කරන්නේ මට පුළුවන් ප්‍රමාණයෙන්. නමුත් මම මගේ දරුවාට සැමියාට විය යුතු යුතුකම් හොඳින් ඉටුකරනවා.

කිරිපිටි ක්ෂණික ආහාර වගේ දේවල් සෞඛ්‍යට හොඳ නැහැ කියලා දන්න නිසා මම ඒවා ගෙදරට ගේන්නේ නැහැ. ඒ වගේ දේවල් ගැන මම විශේෂයෙන් සැලකිලිමත් වුණත් මම අනෙක් මවුවරු හිතට වදයක් කරගන්න දේවල් ගැන හිතන්නේ නැහැ. දුව සෙල්ලම් කරද්දී ගේ හැඩි වුණත් කවදාවත් මම ඇයට බණින්නේ නැහැ. පැය 24ම ගේ ලස්සනට තියාගන්න ඕන කියලා මම බලාපොරොත්තු වෙන්නේ නැහැ වගේම මම එයට මහන්සි වෙන්නේත් නැහැ. මොකද ළමයාට සෙල්ලම් කරන්න මිදුලක්, වත්තක් නැත්නම් ළමයා ගේ ඇතුළේ සෙල්ලම් කළ යුතුයි.

මම ළමයාව වළක්වන්නේ නැතිව එයාගේ වැඩ කරගන්න ඉඩ දීලා ඒ වෙලාවේ මගේ වැඩක් කරගන්නවා. දවස අවසානයේ මම වෙලාවක් අරගෙන ගේ අස්කරනවා. මට වෙලාවක් නැති වුණොත් ඒ කටයුතු මගේ සැමියා විසින් සිදුකරනු ලබනවා. මගේ කටයුතුවලදී මගේ සැමියාගෙන් ලැබෙන සහයෝගය මෙතනදී අගය කළ යුතුයි. ඒ වගේම මගේ ජීවිතයේ මම කරන කටයුතුවලදී ප්‍රමුඛත්වය දිය යුත්තේ කුමකටද කියලා මම හොඳින් හඳුනාගෙන වැඩ කරනවා. ළමයා අසනීපයෙන් සිටිනවා නම් මම අනෙක් වැඩ ඔක්කොම පැත්තකින් තියලා ගෙදර ගැන අවධානය යොමු කරනවා.

පසුගිය සතියේ මම 'මායා දොරටුව' නමින් වැඩසටහනක් කළා. ඒ කාලයේ මගේ ප්‍රමුඛ අවධානය ඒ වෙනුවෙන් යොමු කළා. එහෙම වෙද්දී ගෙදර කෑමබීම සම්බන්ධයෙන් යම් යම් අඩුපාඩු මගෙන් සිදුවුණා. නමුත් මම හැමදේම Perfect කරන්න උත්සහ දැරුව නම් මම අසාර්ථක වෙලා Stress වෙන එකයි සිදුවෙන්නේ. අපේ කාන්තාවෝ බොහෝමයකට මානසික ආතතිය ඇතිවෙන්න එක් හේතුවක් තමයි හැම දේම Perfect කරන්න උත්සහ කරන එක. මේ ගැන සිතන විට මට හිතුණ දෙයක් තමයි අපේ කාන්තාවන්ට ආකර්ෂණයේ නීතිය දැනගෙන සිටීම අවශ්‍ය බව. එය ඔබට අන්තර්ජාලය හරහා සොයා ගන්න තාක්ෂණය උදව් කරයි.

අපේ සමාජයේ මවුවරුන් බොහෝමයක් තමන්ගේ පිරිමි දරුවන් හදන්න උත්සහ කරන්නේ ගැහැනු ළමයින් වගේ. ඒ වගේම කියන්න ඕන ගැහැනු කියන්නෙත් දේවතාවියන් වගේ අය නොවෙයි. මම ගැන බැලුවොත් මමත් සර්ව සම්පූර්ණ බිරිඳක් නොවෙයි. මෙන්න මේ සර්ව සම්පූර්ණ නොවීම නිසා ඕනම පවුල් ජීවිතයක ගැටුම් ඇති වෙන්න පුළුවන්. නමුත් අපිට පුළුවන් වෙන්න ඕන ප්‍රශ්න අස්සේ වැඩ කරගන්න. එයට ගැහැනියට සටකපට බුද්ධියක් තිබීම අවශ්‍යයි. එය 64 මායම් ලෙසත් කාටහරි දකින්න පුළුවන්. නමුත් මෙය කාන්තාවක් තුළ තිබෙන සුන්දරත්වය, ප්‍රඥාව, බුද්ධිය,කාර්ය ශූරත්වය වෙන්නට පුළුවන්. ඒ  එක්කම කියන්න ඕන පිරිමින්ටත් යම් වගකීමක් තිබෙනවා. අපිට බැහැ මනුෂ්‍යයෙකුට ආදරය කරුණාව කියන දේ පොවන්න. විවාහ ජීවිතයක් ඇතුළේ සහකරුවා හා සහකාරිය කියන දෙදෙනෙක් එක හා සමාන අයිතිවාසිකම් ගෘහයක් තුළ භුක්ති විඳිනවා. එක වගේ සමාන මිනිසුන් දෙදෙනෙක් තමයි මේ නිවස තුළ ජීවත් වෙන්නේ. එහෙනම් ඒ දෙන්නා තේරුම් ගන්න ඕන කොහොමද එකිනෙකාට සහයෝගය දක්වන්නේ කියන දෙය පිළිබඳව. සහයෝගයෙන් ආදරයෙන් ගමනක් යන්නයි අවශ්‍ය වන්නේ. නමුත් අපේ රටේ පිරිමින්ගේ ආකල්පවල යම් ප්‍රශ්නයක් තිබෙනවා. ඔවුන් හරිම අඩුවෙන් තමයි බිරිඳට සහයෝගය ලබාදෙන්නේ. විද්‍යාත්මකව බැලුවොත් ගැහැනිය කියන කෙනාට නින්ද කියන දේ පිරිමියාට වඩා අවශ්‍යයි. ගැහැනියගේ ශරීර ශක්තිය මාසික වශයෙන් අඩු වෙනවා වගේම දරු ප්‍රසූතියෙන් පසුවත් අඩු වෙනවා. ඒ නිසා අපිට හරිම මහන්සියි කියන දේ පිරිමියා අවබෝධ කරගත යුතුයි. එය තේරුම් ගත්තේ නැත්නම් පවුලක් තුළ ජීවත් වෙන්න හරිම අමාරුයි.

මෙය පිරිමියා තුළට ඇතුළු විය යුත්තේ පවුල තුළින්. අපේ සමාජයේ විවාහ වෙලා ගිය පුතා බිරිඳට පොල් ටිකක් ගලා දුන්නොත් අම්මලාට හරිම අමාරුයි. මෙන්න මේ ආකල්ප අපේ සමාජයේ තිබෙන තාක්කල් ගැහැනියට ගැලවීමක් ලැබෙන්නේ නැහැ. අපේ සමාජයේ කඩා වැටෙන පවුල් පිළිබඳ අවධානය යොමු කළොත් ඒවාට වැඩි වශයෙන් වගකිව යුත්තේ පිරිමියායි. පිරිමියාගේ අවබෝධය නොමැතිකම මෙයට හේතුවෙනවා. සහකරු හා සහකාරිය කියන වචනයේ තේරුමවත් අවබෝධ කර නොගෙන විවාහයට ඇතුළු වීම මෙහි ගැටලුව වී තිබෙනවා. අපි සහකාරිය මිසක් වැඩකාරිය නොවෙයි. අපේ සමාජයේ මේ ආකල්ප හදන්නේත් ගැහැනියමයි. අම්මෙක් තමන්ගේ දුවව කුස්සියේ වැඩවලට එකතු කර ගත්තත් පුතෙක් කුස්සියට ආවොත් ඔහුව කුස්සියෙන් පිටත් කර හරිනවා. පුතාලා කුස්සියේ වැඩවලට නොආ යුතුයි කියන ආකල්පය ඔවුන්ගේ ඔළුවට දාන්නෙත් මේ අනුව ගැහැනියක්මයි. ඒ නිසා ගැහැනු පරපුරම තමයි දුක් විඳින්නේ. අපේ ගැහැනු උදේ පාන්දර 3.00ට ඇහැරිලා, උයලා පිහලා, ළමයින්ගේ වැඩ කරලා සාරි ඇඳගෙන කෝච්චියේ හරි බස් එකේ හරි එල්ලිලා වැඩට යනවා. ඔවුන්ගේ ජීවිත බැලුවොත් හරිම Stressful.

නමුත් ඔවුන්ගේ සැමියා ගැන බැලුවොත් බිරිඳ උයලා දෙන බත් එක අරගෙන වැඩට යනවා. ගිහින් ඇවිත් කාලා, ටී වී එක බලලා නිදාගන්න යනවා. නමුත් ගැහැනිය උදේ 3.00ට පටන් ගත්ත වැඩ ඉවර කරන්නේ රෑ 11.00ට 12.00ට වෙන්න පුළුවන්. ඇය 365 දවසෙම මෙහෙම වැඩකරලා ඉක්මනට වයසට යනවා. කැත වෙනවා. මානසිකව වැටෙනවා. අන්තිමට පවුලේ ප්‍රශ්න. ගැහැනිය නිවසේ සතුටින් නැත්නම් අනිවාර්යයෙන් ඒ ගෙදර සමගිය නැති වෙනවා. ගැහැනිය සතුටින් ඉන්න ගෙදරක සමගිය රැඳෙනවා.

අපේ රටේ කාන්තාවෝ නීතිය ඉදිරියට යන්න බයක් දක්වන එක ලොකු අර්බුදයක් බවට පත්වී තිබෙනවා. විශේෂයෙන් මේ නිසාම ඇතැමුන් නීතිය අතට අරගෙන වැඩ කරන්න පටන්ගෙන තිබෙනවා. තමන්ට හිරිහැරයක් හෝ අඩන්තේට්ටමක් රටේ උපරිම බලවතාවන ජනාධිපතිගෙන් සිදුවුණත් එයට විරුද්ධව ගැහැනියක් කට ඇරලා කතා කරන්න බිය විය යුතු නැහැ. ගැහැනිය කට ඇරියොත් ඇය වටා බොහෝ පිරිසක් එකතු වෙනවා. ඒ නිසා යම් අසාධාරණයක් තමන්ට සිදුවෙනවා නම් කරුණාකර තමන්ගේ හඬ අවධි කරන්න. මොකද ගැහැනිය කාටවත් බියව ජීවත් විය යුතු නැහැ.

නදීශානි පතිරණ / ජායාරූප - ඒෂාන් ප්‍රනාන්දු

 

 

0 comments

Leave a Reply

Post Comment