වසර 40 ක් තිස්සේ ශ්‍රී ලංකාවට වාර්ෂිකව පැමිණෙමින් අඩු ආදායම් ලාභී පවුල්  118 කට නිවාස තනාදුන් ජර්මන් ජාතික යුවළක් වැලිපැන්න ප්‍රදේශයේ තවත් අඩු ආදායම් ලාභී පවුල් දෙකකට නව නිවාස තනා පසුගියදා බාරදුන්නාය.

ජර්මන් ජාතික විශ්‍රාමික පොලිස් නිලධාරියෙක් වන ලුට්ස් මලසවෝස්කි සහ බාබරා මලසවෝස්කි යුවළ වසර 40 ක කාලයක සිට ශ්‍රී ලංකාවට වාර්ෂිකව පැමිණෙමින් කොග්ගල බීච් හෝටලයේ සාමාන්‍යාධිකාරී පත්මසිරි ලියනගේ මහතා සහ බේරුවල ප්‍රදේශයේ හිතවතෙකු මාර්ගයෙන් ශ්‍රී ලංකාවේ අඩු ආදායම් ලාභී පවුල්  118 කට මේ වන විට  නව නිවාස ඉදිකර බාර දී ඇත.

මෙම යුවල පසුගිය දා වැලිපැන්න ප්‍රදේශයේ පවුල් දෙකකට නව නිවාස තනා ගෘහ භාණ්ඩ සමග බාරදීමට කටයුතු කළේය.

වසර 40 ක් පුරා වාර්ෂිකව ශ්‍රී ලංකාවට පැමිණ නිවාස තනාදෙමින් කටයුතු කරන ජර්මන් ජාතික ලුට්ස් මලසවෝස්කි මහතා මෙසේ පැවසීය.

“මගේ බිරිඳ සමග වසර 40 ක සිට ශ්‍රී ලංකාවට වාර්ෂිකව පැමිණෙනවා.මුල් කාලයේ අපි ලංකාවට පැමිණ දුප්පත් අයට විවිධ උදව් උපකාර කළා.ලංකාවේ මිනිස්සු හැම තිස්සෙම හිනා වෙලා ඉන්න නිසා ඒ අයට උදව් කරන ආසයි. ලංකාවට සුනාමි ආවට පස්සේ අපි ජර්මනියේ පරිත්‍යාගශීලීන්ගේ උදව් ඇතිව සුනාමියෙන් අසරණ වූ අයට විශාල වශයෙන් උදව් කළා.

පසුව අපට සිතුනා අසරණ අයට ගෙයක් හදලා දෙන එක වටිනවා කියලා.ඒ අනුව අප ජීවත්වන ජර්මනියේ ඉසලෝනා ප්‍රදේශයේ පරිත්‍යා ශීලීන්ගේ උදව් ඇතිව ලංකාවේ අසරණ දරු පවුල් වලට නිවාස හද දීමට කටයුතු කළා.අප මේ වන විට ලංකාවේ නිවාස 118 ක් හදා නිමකර තිබෙනවා.මේ වර අප නිවාස 125 දක්වා නිවාස ඉදිකර බාර දෙනවා.

අපි තනා බාරදෙන නිවසක් ලබාගෙන එම අසරණ දරු පවුල් ලබන සතුට දැක්කම තව තවත් මේ රටේ අයට උදව් කරන්නට අපිට ශක්තියක් ලැබෙනවා.අපට නිරෝගීව ලංකාවට පැමිණීමට හැකි තාක් අපි ලංකාවේ මිනිස්සුන්ට උදව් කරනවා”

බන්දු තඹවිට

 

0 comments

Leave a Reply

Post Comment