ස්ථිර නිවසක් පවා නොමැතිව පාසල් වියේ පසුවන දරුවන් අටදෙනෙකු සමග දැඩි දුෂ්කරතාවන්ට ලක්වෙමින් දිවිගෙවන අඹුසැමි යුවළක තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා පරිත්‍යාගශීලීන්ගේ ආධාර උපකාර බලාපොරොත්තු වෙයි.

මෙම පවුලේ ගෘහ මූලිකයා ඒ. වී. අනිල් (50) මහතාය. හෙතෙම වෘත්තියෙන් රියදුරෙකි. බිරිඳ එච්.ජී මල්කාන්තිය.  මොවුහු මේ වනවිට   ගොවිජනපදය,පින්නදුව, වළහන්දුව යන ලිපිනයේ පදිංචිව සිටිති.

මෙම දෙපළට දරුවන් දස දෙනෙකු සිට ඇති අතර ඉන් දෙදෙනෙකු මේ වනවිට විවාහපත්ව සිටිති. ඉතිරිව සිටින දරුවන් අට දෙනෙකුම පාසල් යන වියේ පසුවන අතර මෙම දරුපවුල නඩත්තු කිරීමට  අනිල් මහතා දැඩි අරගලයක නිරතව සිටින්නේය.

" මට වෙනත් කිසිදු  ආදායම් මාර්ගයක් නැහැ. ත්‍රිරෝද රථයෙන් කුලී ගමන් බිමන් යාමෙන් උපයන ආදායමෙන් තමයි දරු පවුල නඩත්තු කරන්නේ. සමහරක් දිනවලට  හයර් නැහැ. සමහරක් දිනවලට හයර් තියෙනවා. හයර් නැතිදාට දරු පවුලේ එදිනෙදා වියදම් පියවාගන්න දැඩි අරගලයක් කරන්න සිදුවෙලා තියෙනවා.

බාල පුතා තවම පෙර පාසල් යනවා.  පිරිමි දරුවකු හා ගැහැණු දරුවකු උසස්පෙළ කලා අංශයෙන් ඉගෙනුම ලබනවා. පළමු වසරේ  පුතෙක්  ඉගෙන ගන්නවා.4, 6, 8, 11 වසරේ දුවලා සිව් දෙනෙකු ඉගෙන ගන්නවා. ඇත්තටම දරුවන් අටදෙනෙකු පාසල් යනවා. මේ අයගේ පොත්පත් පාසල් උපකරණ ඇදුම් පැලඳුම්වලට විශාල වියදමක් යනවා. 

දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යන්නේ දැඩි දුෂ්කරතා මධ්‍යයේයි. එකම දරුවෙක්වත් උපකාරක පංති යන්නේ නැහැ  ඉතා අමාරුවෙන් තමයි  දරුපවුල නඩත්තු කරන්නේ. හයර් නැතිදාට දරුවන් කුස ගින්නේ ඉන්න දිනත් තියෙනවා. එවැනි අවස්ථාවලදි මට යාළුවෝ උදවු කරනවා.

 නිවාස අධිකාරියෙන්  රුපියල්  ලක්ෂ 02ක ණය මුදලක් අරගෙන  නිවසේ ඉදිකිරීම් ආරම්භ කළා. නමුත් මට දැන් ඒ ණයගෙවා ගන්න විදියක් නැහැ. වත්කමක් නැති නිසා. නිවසේ වහලය මුක්කු ගහලා තියෙන්නේ.  කිසිදු දොර ජනේලයක් නැහැ. රාත්‍රියට මමයි  බිරිදයි මාරුවෙන් මාරුවට තමයි නිදා ගන්නේ ආරක්ෂාවක් නැති නිසා.

පසුගිය කාලයේ මම ආබාධයකට ලක්වෙලා හිටියා. ඒ කාලයේදිනම් ගොඩක් දුෂ්කරතාවලට ලක් වුණා. යුද හමුදාවේ වසර හතරක් සාමාන්‍ය සෙබළෙකු ලෙස සේවය කළා. පොදු සමාකාලයේදී හමුදාවෙන් ඉවත් වුනා. ගෙදර තිබු ප්‍රශ්න නිසා. මගේ පාදයක් ආබාධයකට ලක්වෙලා ගෙදර ඉන්න කාලයේදී  මට ත්‍රිරෝද රථය ගන්න හමුදාවෙන්  උදවු කළා.

නිවසට පොල්ගහක් වැටිලා නිවසේ වහලයේ කොටසක් හානිවෙලා තියෙන්නේ. ඒ සඳහා වන්දිමුදලක් ලබාදෙන බව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් දන්වා තියෙනවා. මගේ දරුවෙකුට රැකියා අවස්ථාවක් ලබාදී දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා උදව්කරන්න කියලා තමයි දානපතියන්ගෙන් ඉල්ලීමක් කරන්නේ."

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු  091- 5618300 දුරකථන අංකයෙන් ලබා ගත හැකිය.

ජිනේෂ් නානායක්කාර

0 comments

Leave a Reply

Post Comment