පසුගිය මාස කිහිපයේ ළමුන්ට සිදුවන කෘෘරත්වය සම්බන්ධ හිංසනවල යම් වැඩි වීමක් දක්නට ඇතැයි ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ සභාපතිවරයා සඳහන් කර තිබිණ. එමෙන්ම ආන්දෝලාත්මක ආකාරයේ ළමා අපයෝජන සිදුවීම් කිහිපයක්ද මෑතකාලීනව වාර්තා විය. ගෝලීය වසංගත තත්ත්වයක් මත දරුවන් නිවෙස් තුළට සීමා වී සිටින මෙන්ම පවුලේ සාමාජිකයන් බොහෝදෙනා නිවසේ ගැවසෙන පරිසරයකදී මෙවන් දේවල් සිදුවීම පිළිබඳ බොහෝ දෙනාගේ අවධානය යොමු විය. ඒ අනුව කෝවිඩ් වසංගත කාලය තුළ එවැනි අපචාර වැඩි වෙලාද? එවැනි දේ සිදුවන්නට මනෝවිද්‍යාත්මක පසුබිමක් තිබෙනවාද? යන්න පිළිබඳව ගැටලු පැන නැගෙයි. මේ රාගම වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස මහතා ඒ පිළිබඳව දැක්වූ අදහස් ඇසුරෙන් සැකසුණ ලිපියකි.

අපයෝජන වැඩි වීම

ලංකාවේ සාමාන්‍යයෙන් ළමා අපචාර වැඩි වී ඇති බව සඳහන් කරන්නේ ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබෙන පැමිණිලි අනුවයි. ඒ අනුව ඔවුන්ගේ හදිසි ඇමතුම් අංකය වන 1929 දුරකථන ඇමතුම් සේවාව හරහා ලැබෙන පැමිණිලි වැඩි වෙනවා නම් අපි බොහෝ වෙලාවට කියනවා ළමා අපයෝජන රටේ වැඩි වෙලා කියලා. නමුත් මෙයින් සමස්ත ලංකාවේ සිදුවන ළමා අපයෝජන සිදුවීම් නියෝජනය නොවන බව අප වටහාගත යුතුයි. උදාහරණ ලෙස මම සේවය කරන රාගම ශික්ෂණ රෝහලට ළමා හිංසන වලට හා අතවර වලට ලක්ව පැමිණෙන බොහෝමයක් ළමුන් පිළිබඳ තොරතුරු ළමා ආරක්ෂණ අධිකාරියට පැමිණිලි ලෙස ඉදිරිපත් කර නැති ඒවායි. කෝවිඩ් වසංගත කාලයේ ළමා අපයෝජන වැඩි වෙලාද කියන එක අපිට ඒ අනුව බලන්න සිදුවෙන්නේ ජාත්‍යන්තර දත්ත පිළිබඳ සලකා බැලීමෙන්. උදාහරණයක් විදිහට මහා බ්‍රිතාන්‍යයේ තිබෙනවා National Society for Prevention of Cruelty to Children නමින් ආයතනයක්. මේ ආයතනය ලාභ නොලබන ළමයින්ගේ හිංසනයන් පිටුදැකීම වෙනුවෙන් ක්‍රියා කරන ආයතනයක්. ඔවුන් සඳහන් කරන දෙයක් තමයි කෝවිඩ් 19 වසංගතයත් සමග ලෝකයේ බොහෝ රටවල් ලොක්ඩවුන් ක්‍රියාවලියකට ප්‍රවේශ වීමෙන් පසු කාලයේදී ළමා හිංසන වැඩි වී ඇති බව. අපිට ලංකාවේ ළමා හිංසන මේ කාලේ වැඩියි කියලා දත්ත එක්ක කියන්න බැරි පසුබිමක් තිබෙනවා. නමුත් අපිට හිතන්න පුලුවන් ගොඩක් දුරට ළමා කෘෘරත්වය වැඩි වී ඇති බව.

හේතු

නිවසේ වැඩිහිටියන් හා ළමයින් වැඩිපුර කාලයක් එකට ගතකරන්නට සිදුවීම මෙයට ප්‍රධාන හේතුව ලෙස සඳහන් කරන්න පුළුවන්. පසුගිය කාලසීමාවේ දෙමව්පියන්ට හා වැඩිහිටියන්ට රැකියාවන් වලට යෑමට නොහැකි වීමත්, ළමුන්ට පාසල් යෑමට නොහැකි වීමත් නිසයි මේ තත්ත්වය ඇතිවූයේ. එවිට එකම පරිසරයක නිතරම වැඩි පිරිසක් ගැටීම තුළ මානසික ඝට්ටන හා අතවර සිදුවීමේ අවස්ථාව වැඩියි.

මේ අවස්ථාවේ රැකියාව නැතිවීම, නිවසේ වැඩි වේලාවක් කොටුවී සිටින්නට වීම නිසා වැඩිහිටියන්ට මානසික පීඩනය ඇතිවී මානසික සමබරතාවය නැතිවී යාම දෙවැනි හේතුව ලෙස දැක්විය හැකියි. විශේෂයෙන් ආර්ථික දුෂ්කරතා ඇතිවුණාම එය අපේ සිතෙන් පිළිගන්නේ නැති වීම තුළ  යටි හිතේ ලොකු පීඩනයක් බවට පත්වන්නට හැකියාවක් පවතිනවා. අපි බැලුවොත් මේ අවස්ථාවේ අපිට මුදල් අමාරුකම් තිබෙන බව පිළිගෙන එය සාකච්ඡා කරන්නේ නැහැ. ලංකාවේ සමාජයේ මිල මුදල් වලට වඩා අගය කරන්නේ සමාජ තත්ත්වයයි. එවිට සමාජ තත්ත්වය අඩු වෙයි කියලා තමන්ගේ ආර්ථික ප්‍රශ්න සඟවා ගන්නට උත්සාහ කරනවා. ඒ නිසා අපේ සමාජයේ මේ ආර්ථික ප්‍රශ්න සැඟවීමේ පුරුද්ද මතම පුද්ගලයන්ගේ යටි සිතේ පීඩනයන් ඇතිකරන්නට තිබෙන අවස්ථාව ඉතා වැඩියි. මෙහෙම වුණාම දෙමාපියන් තමන්ගේ මනස තුළ ඇතිවී තිබෙන වෙනස්කම හඳුනා නොගෙන ඒ පීඩනය තමන්ගේ ළමුන් කෙරෙහි ක_රත්වය ලෙස ගමන් කරවන්න තිබෙන ඉඩකඩ ඉතා ඉහළයි. එවිට ශාරීරික, මානසික හෝ හැඟීම් පිළිබඳ අපයෝජනයක් බවට පත්වෙන්නට හැකියාවක් තිබෙනවා.

තමන්ගේ ආශ්‍රිත දරුවන්ට සිදුවන අපයෝජන සිද්ධි පිළිබඳ පැමිණිලි කරන්නට ඥාතීන්, අසල්වැසියන්, ආච්චි, සීයා වගේ වැඩිහිටියන් බොහෝමයක් නිවෙස් වල රැඳී සිටීම නිසා අවස්ථාව උදාවුණා. මින් පෙර මෙවන් සිද්ධි පිළිබඳ පැමිණිලි කරන්න වෙලාවක් තිබුණෙ නැති අයට කෝවිඩ් 19 තත්ත්වයත් එක්ක අවස්ථාවක් ලැබුණා. මේකත් ලැබෙන පැමිණිලි ඉහළ යන්න හේතුවක් ලෙස දැක්විය හැකියි.

වාර්තාකරණය

මේ දවස්වල බොහෝදෙනා ප්‍රවෘත්ති සමග ගැවසුණා වැඩියි. ප්‍රවෘත්තිවල ප්‍රභවයක් ලෙස මුද්‍රිත මාධ්‍යවලට වඩා තරුණයන් භාවිත කරන්නේ සමාජ මාධ්‍ය. එවිට Click Bait නැත්නම් ක්ලික් කරන්න කැමැති විදිහට තමයි ප්‍රවෘත්තිය බලන්න හැකි වෙන ආකාරයට තමයි ප්‍රවෘත්ති පළ කරන්නේ. මේ ක්ලික් කිරීමට පොළඹවා ගන්න උගුලක් ලෙස ඔවුන් දානවා %බාලවයස්කාර දැරියක් අතවරයට ලක්වී ඇත - වීඩියෝ සහිතයි^ කියලා. මෙහෙම දැක්කාම කට්ටිය ක්ලික් කරනවා.

නමුත් මෙවැනි ප්‍රවෘත්තියක් පළ කිරීමේදී මානව හිමිකම් කඩවීමක් සිදුනොවන ලෙස අදාළ ප්‍රවෘත්තිය පළ කිරීම ඉතාම වටිනවා. කිසිම ප්‍රවෘත්තියක අතවරය සිදුවූ දරුවාගේ ජායාරූප, ඒ දරුවාගේ පවුලේ අයගේ ජායාරූප හෝ ඔවුන්ගේ අදහස් දැක්වීම් සඳහන් නොවිය යුතුයි. මෙවන් සිදුවීමකදී දරුවෙකු මිය ගිහින් තිබුණොත් ඔහුගේ හෝ ඇයගේ රූපයක් මාධ්‍යවල පළකරන්නට ඔවුන්ගෙන් අවසරයක් හෝ කැමැත්තක් අරගන්නේ නැහැ. එලෙස අපි ලිඛිත අවසරයක් නැතිව කාගේ හරි ජායාරූපයක් පළකරනවා කියන්නේ මානව හිමිකමක් උල්ලංඝනය කිරීමක්. දෙවෙනුව පවුලේ අය සංතාපයට පත්ව, මානසික පීඩනයෙන් ඉන්න අවස්ථාවක මයික් එකක් දික්කළාම කතා කරන්න පුළුවන්ද. ඔවුන් හොඳ මානසික සමබරතාවයකින් නොසිටින නිසා එවන් වෙලාවක ඔවුන්ගෙන් ප්‍රකාශ හෝ අදහස් ලබාගැනීම සිදුනොවිය යුතුයි.

අනිත් එක තමයි මාධ්‍යවේදීන් කියන්නේ පීඩනයෙන් සිටින අයෙකුගෙන් අහන ප්‍රශ්න වලින් තවදුරටත් පීඩාවට ලක්වෙයිද, නැද්ද කියලා තීරණය කරන්න තරම් විශේෂඥ දැනුමක් නොමැති අයයි. එවිට මයික් එක දික්කරලා අහන ප්‍රශ්න වලින් ඒ දරුවාගේ අම්මට, තාත්තට හා පවුලේ අනිත් අයට සදාකාලිකව පවතින මානසික කැලැල් ඇතිවිය හැකියි. ඔවුන්ට මානසික කම්පන තත්ත්ව ඇතිවිය හැකියි. ඒ වගේම ඒ දරුවාව හඳුනන ගමේ ළමයි, පාසලේ ළමයින් මෙවැනි ප්‍රවෘත්ති නැරඹීමෙන් පසු මනෝ කම්පන තත්ත්ව ඇති විය හැකිය. ඒ නිසා වින්දිතයාගේ ජායාරූප, නම් ගම් හෝ අනන්‍යතාව හෙළිවෙන තොරතුරු පළකිරීම වරදක්.

මීළඟට අපි බැලුවොත් එක් ආකාරයකට යම් පණිවුඩයකුත් ලැබෙනවා. විශේෂයෙන් මෙවන් පුවතක් අසා දැනගන්නා වැඩිහිටියන් තමන්ගේ දරුවාගේ ආරක්ෂාව වෙනුවෙන් දශමයකින් හරි සැලකිල්ලක් දක්වන්න පෙළඹෙනවා. ඒ අනුව වක්‍රාකාරයෙන් සමාජමය අවධානයක් යොමු විය හැකියි. ඒ නිසා පළ කළයුතු වන්නේ අනන්‍යතාව හෙළි නොකර මෙවැනි සිදුවීමක් සිදුවී තිබෙනවා, එයට එරෙහිව නීතියෙන් ගත් පියවර මොනවාද යන්න පිළිබඳවයි. පොලීසියෙන් සිදුකරන පරීක්ෂණ, අධිකරණ වෛද්‍ය නිලධාරියා ගන්නා පියවර මාධ්‍ය හරහා පළ කළ යුතුයි. එසේ නොමැතිව සිද්ධිය සිදුවූ ආකාරය වාර්තා කිරීම සිදුනොවිය යුතුයි.

අපයෝජකයන්

අපි ළමා අපයෝජකයන් පිළිබඳ අවධානය යොමු කළොත් වැඩිවියට ප්‍රවේශ නොවූ දරුවන්ව අපයෝජනයට ලක්කරන්නේ පීඩොෆීලියා කියන මානසික රෝගයට ලක්වූ අයයි. සාමාන්‍ය සම්මත ලිංගික සම්බන්ධතා වලට නොයා විකෘති ලිංගික සම්බන්ධතා වලට කැමැත්තක් දක්වන අයව අපි හඳුන්වන්නේ පැරාෆීලියා රෝගයට ගොදුරුවූවන් ලෙසයි. පැරාෆීලියා රෝග තත්ත්ව අතර එකක් තමයි වැඩිවියට පත්වන්නට පෙර සිටින පිරිමි හෝ ගැහැනු දරුවන් සමග ලිංගිකව එක්වන්නට කැමැත්තක් දැක්වීම. මේ රෝගයට වැඩි වශයෙන් ගොදුරු වන්නේ පිරිමි අය. කලාතුරකින් ගැහැනු අයත් මේ රෝගයට ගොදුරු විය හැකියි. එවිට මේ පීඩොෆීලියා රෝගීන් කරන දෙයක් තමයි ළමයින් සිටින පරිසර වලට අලුතින් ප්‍රවේශ වීම.

උදාහරණයක් ලෙස මෙවැනි අය පුංචි ළමයෙක් සිටින නිවසක් අසල නිවසක පදිංචියට යොමු වීම දැකගන්න පුළුවන්. එසේ නොමැතිනම් පුරුෂයා මිය ගිය දරුවන් සිටින කාන්තාවන් සමග සම්බන්ධතා ඇති කරගැනීම හෝ විවාහ වීම සිදුකරනු ලබනවා. එසේත් නැතිනම් පාසලක් ආශ්‍රිතව කඩයක් දමාගෙන සිටීම හෝ ත්‍රිරෝද රථයක් පැදවීම සිදුකරන්නත් පුළුවන්. මේ වගේ ළමයින් ආශ්‍රිත පරිසරවලට ඇතුල් වෙනවා. මෙහෙම ඇතුළු වූ පුද්ගලයා ළමයින් සමග මුලින්ම කරන්නේ හිතවත්භාවයක් ඇතිකර ගැනීමයි.

ළමයාව අගය කරන ආකාරයේ ප්‍රකාශයන් සිදුකර හෝ ටොෆී චොකලට් වගේ දෙයක් දීලා හිතවත්කමක් ගොඩනඟාගෙන මුලින්ම ළමයාව මානසිකව සකස් කිරීමක් ඔවුන් විසින් සිදුකරනු ලබනවා. මෙලෙස ළමයාව ක්‍රමයෙන් මානසිකව සකස් කරගන්නේ ළමයාගෙන් ලොකු ඉල්ලීමක් කළාම ළමයාට බෑ කියලා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්නට නොහැකි වන ආකාරයටයි.

අපිට මෑතකාලීනව අහන්න දකින්න ලැබුණු සිදුවීම් දිහා බැලුවාම බහුලව නිරීක්ෂණය කරපු දේ තමයි මොවුන් ළමයාට ජංගම දුරකථන තෑගි කිරීමට යොමු වී ඇති බව.

ඉන්පසුව වට්ස්ඇප් ආදී සේවාවන් දුරකථනයට සක්‍රීය කර දී ළමයාව නිවසෙන් පිටතට රැගෙන ගිය අවස්ථා බොහොමයක් අපිට අත්දකින්නට ලැබෙනවා.

ඉතින් මෙවැනි මානසික රෝග තිබෙන අයට මාධ්‍ය හරහා මෙවැනි සිද්ධීන් සිදුවූ ආකාරය වාර්තා කිරීම හරහා සිදුවන්නේ ඔවුන්ට වැරදි දැනුමක් ලැබීමයි. ඒ අනුව ඔවුන් තවදුරටත් මේ කටයුතු වලට පෙළඹෙනවා.

ඒ වගේම මෙවැනි පුවත් නිතර නිතර පළ වීමෙන් විශේෂයෙන් යොවුන් වියේ හා නව යොවුන් වියේ සිටින ළමයින් මෙවැනි දේ සම්බන්ධයෙන් වීරත්වයක් හෝ සාමාන්‍යකරණයක් ගොඩනඟා ගන්න පුළුවන්.

විශේෂයෙන් ප්‍රේම සම්බන්ධයක්, ලිංගික සම්බන්ධතාවයක් බලය වැඩි පාර්ශ්වයක් විසින් බලය අඩු පාර්ශ්වයක් මත දක්වන තත්ත්වයක් ලෙස ඔවුන් වැරදියට වටහා ගන්නවා. අපි එය හඳුන්වන්නේ Sadism යනුවෙන්. එහි තේරුම තමයි අනෙක් අයට හිරිහැර කිරීමෙන් ලිංගික උත්තේජනයක් ලැබීම. බොහෝ මනෝ වෛද්‍ය පරීක්ෂණ වලින් හොයාගෙන තිබෙන දෙයක් තමයි ලිංගික අතවර කරන අය ලිංගික සම්බන්ධතාවයක් පැවැත්වීමට වඩා උත්තේජනයක් ලබන්නේ අනෙකාව හිරිහැරයට ලක්කිරීමෙන් බවට. ඒ නිසා මෙවැනි ප්‍රවෘත්ති පළ වීමෙන් අනෙක් අයට හිරිහැර කර ලිංගික උත්තේජනයක් ලබන පුද්ගලයන් පිළිබඳ වැරදි සාමාන්‍යකරණයක් තරුණ දරුවන් අතරට යන්න පුළුවන්. මෙවැනි ළමුන් අනාගතයේදී තමන් ගොඩනගා ගන්නා ප්‍රේම සම්බන්ධතාවලදී හෝ විවාහයේදී අනෙක් පාර්ශ්වයට හිරිහැර කිරීමේ සම්භාවිතාව ඉහළයි. මෙවැනි අය වැරදි ආදර්ශ තමයි ගන්නේ. අතවර සිද්ධියකදී සම්පූර්ණ කතාව දැමීමෙන් මෙවන් තරුණ ළමයින්ට සෘණාත්මක අදහස් තමයි ලැබෙන්නේ.

ඔබේ දරුවා

තමන්ගේ දරුවා අතවරයකට ගොදුරු වෙලාද කියන එක දෙමාපියන්ට වටහාගන්න හැකි ආකාරයේ හැසිරීම් රටා කිහිපයක් අපිට දක්වන්නට පුළුවන්. විශේෂයෙන් ළමයෙක්ගේ හැසිරීමේ සෘජු වෙනස්වීම් කිහිපයක් අපිට හඳුනාගත හැකියි.

  • සාමාන්‍යයෙන් වෙනත් දිනවල මුහුණට මුහුණ හොඳින් කතාබහ කරපු දරුවා කතාබහ අඩුකර කොන් වී සිටින්නට උත්සාහ කරනවා.
  • ඒ වගේම අධිකව තරහ යෑම සිදුවන්න පුළුවන්. ඒ වගේම වෙනදා තිබුණු අවංක ස්වභාවය දරුවාගෙන් ගිලිහෙන්නට හැකියි. ඒ කියන්නේ ළමයා කරුණු සඟවලා කතා කරනවා. කතාකරන තොරතුරුවල මුලක්, මැදක්, අගක් හොයාගන්න බැහැ.
  • කොහෙද ගියේ කියලා ඇහුවාම කියන තැන පිළිබඳ සොයා බැලුවම එතනට ගොස් නැති බව සොයාගන්න ලැබීම.
  • නිවසේ කට්ටිය එකට වාඩි වී කෑම ගන්නවා නම්, එකට වාඩි වී රූපවාහිනිය බලනවා නම් ඒ අවස්ථාවන් දරුවා මඟහැරීම.
  • යන ලක්ෂණ අපිට සෘජු වෙනස්වීම් ලෙස දැක්විය හැකියි.
  • ඒ වගේම වක්‍රාකාර වෙනස්වීම් ලෙස නිතරම දරුවා තිගැස්මෙන් සිටීම දැක්විය හැකියි.
  • විශේෂයෙන් දෙරක් ඇරෙන ශබ්ද වගේ දේවල් වලට දරුවා බිය විය හැකියි.
  • එමෙන්ම රාත්‍රියේ නින්ද නොයෑම හා නිතර භයානක හීන දැකීම.
  • නිතර නිතර ඔළුවේ කැක්කුම, බඩේ අමාරු වැනි තහවුරු කරගන්නට බැරි රෝග පිළිබඳව පැමිණිලි කිරීම වැනි  දේවල් සඳහන් කළ හැකියි.
  • එමෙන්ම වෙනදාට වඩා ජංගම දුරකථනය සමග කාලය ගත කිරීම හා කෙටි පණිවුඩ යැවීම සිදුකළ හැකියි.
  • තවද ජංගම දුරකථනයෙන් තමන්ගේ ජායාරූප වැඩි වශයෙන් ලබාගැනීමට එකවරම යොමු වීම වගේ දේවල් සිදුවිය හැකියි.

දරුවෙක් සමග හොඳ සම්බන්ධතාවයක් දෙමාපියන් දක්වනවා නම් දරුවෙක් යම් පැකිලීමක් තිබුණත් තමන්ගේ දෙමාපියන්ට මේ කාරණා පිළිබඳ දැනුවත් කිරීම සිදුකරනවා.

නමුත් අපයෝජකයා දරුවාට තර්ජනය කර තිබෙනවා නම් දරුවෙක් දෙමාපියන්ට මේ දේවල් සැළකරන්නට පැකිළෙන්න පුළුවන්. දරුවාත් එක්ක හොඳ සම්බන්ධතාවයක් ගොඩනගාගෙන කුමන අවස්ථාවකදී වුණත් සියල්ල දෙමාපියන්ට නොසඟවා පවසන ආකාරයට දරුවන් පුරුදු කරගෙන සිටීම වටිනවා. ඒ වගේම අපි වැඩිහිටියන් ලෙස කුමන ආකාරයකටවත් තමන්ගේ සමාජ තත්ත්වය යහපත් නිසා දරුවන්ට මෙවැනි අපයෝජන සිදුනොවේ යැයි සිතා කටයුතු කිරීම නුවණට හුරු නොවේ. ඉතා ඉහළ සමාජ තලවල සිටින දරුවන්ටත් මෙවැනි අපයෝජන සිදුවන අවස්ථා අපට වාර්තා වෙනවා.

දරුවෙක් අපයෝජනයට ලක්වූ බවට දැනගත් වහාම නීතියේ පිළිසරණ හොයන්නට වැඩිහිටියන් යොමු වුණත් බොහෝවිට ඔවුන්ට සිදුවන මානසික හානියට ප්‍රතිකාර ගැනීම අනිවාර්යයෙන් සිදුවිය යුතුයි. මන්දයත් මේ සිදු වීම නිසා කායික මෙන්ම මානසික බලපෑම් සිදුවෙනවා. කායිකව සිදුවන තුවාල වැනි දෑ සුව වුවත් මානසිකව කම්පනය, විශාදය වගේ තත්ත්වයකට පත්විය හැකියි. ඒ වගේම ඔවුන්ගේ පෞරුෂය බිඳවැටීම් වගේ දේවල් සිදුවෙලා සම්බන්ධතා බිඳවැටීම්, විවාහ ජීවිතය අසාර්ථක වීම් වගේ දේවල් සිදුවිය හැකියි. අතවරයට පත්වූ දරුවෙක්ට ළමා මනෝ උපදෙස් ලබාදීම ඉතාම වැදගත්. ඒ හරහා ළමයෙක්ට අවුරුදු ගණනාවක් බලපෑ හැකි කම්පනයන්ගෙන් මුදවා ගැනීමට වහාම ළඟම තිබෙන රෝහලකට ළමයා යොමු කිරීම ඉතා වැදගත්. එහිදී ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්, අධිකරණ වෛද්‍ය විශේෂඥවරයා, ළමා හා යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා යන අයගෙන් සැදුම් ලත් කණ්ඩායම දරුවා වෙනුවෙන් අවශ්‍ය කායික හා මානසික ප්‍රතිකර්ම ගැනීම සිදුකරනු ඇති.

0 comments

Leave a Reply

Post Comment