ඇය තවමත් ඉගෙනුම ලබන්නේ පාසලේ 07 වැනි ශ්‍රේණියේය. පියා මොලොව හැර ගිය පසු තමන් රැක බලාගත් මව නොසිතූ ලෙස එක්තැන් වූ පසු ඇය තම මව රැක බලා ගත්තේ මවක මෙනි. නිවසේ වැඩ කටයුතු කර මවටද උවටැන් කර ඉගෙනීමද ඉහළින්ම කළ මේ සුජාත දියණිය අද සිය මව රෝහලේ තබාගෙන උවටැන් කරමින් පාසල් වැඩ කටයුතුද කරන්නීය. මවට ප්‍රාණයක් වූ මේ දියණිය ගැනත් ඇයට ශක්තියක් වූ මිනිසුන් ගැනත් සටහනකි මේ.
බදුල්ල, ඇල්ල, බල්ලකෙටුව ආයුර්වේද රෝහලේ ඔත්පලව ප්‍රතිකාර ලබන සිය මවට උවටැන් කරමින් එම රෝහලේ සිට පාසල් යන 12 හැවිරිදි පාසල් සිසුවියක පසුගියදා අපට මුණගැසිණි. ඇය නමින් ආර්.එම්. නිමේෂාය. මේ පිළිබඳව ඇය අප සමග පවසා සිටියේ මෙවැන්නකි.
"මම ඉගෙන ගන්නෙ ඌව පරණගම මැදවෙල විද්‍යාලයේ. මගේ තාත්තා නැහැ. අම්මා ලෙඩවෙලා හොඳටම අමාරු වුණා. අම්මාට ඇඳෙන් බහින්න බැරිතරම් අමාරු වුණාට පස්සේ මම ගෙදර වැඩ කරන්න පුරුදු වුණා. කලිනුත් අම්මාට ගෙදර වැඩට උදව් කළ නිසා මේක මට අලුත් දෙයක් වුණේ නැහැ. හැබැයි අම්මා ඔත්පල වුණාට පස්සේ ගෙදර සියලු වැඩ කළේ මම.
මම උදෙන්ම නැගිටලා තේ හදනවා. ඊට පස්සේ අම්මාගේ මුහුණ සෝදවලා, කෑම හදලා අම්මාටත් කන්න දීලා, බුදුන් වැඳලා ඉස්කෝලේ ගියා. ඉස්කෝලෙ ඉවර වෙලා අම්මා සොයාගෙන දුවගෙන ආවා. අම්මා මං එනතෙක් බලාගෙන හිටියා.දවසක් ඉස්කෝලෙ තිබුණු නායකත්ව පුහුණු වැඩසටහනකදී අම්මලාට ගෙදර වැඩ සඳහා උදව් කරන අය අත ඔසවන්න කිව්වම මම අත එසවූවා.
කොහොමද උදව් කරන්නෙ කියල ඇහුවම මම විස්තර කළා. ඊට පස්සේ දවසක් මේ ඉස්පිරිතාලේ දොස්තර මහත්තයයි, අපේ විදුහල්පතිතුමයි තවත් මහත්තුරු කිහිපදෙනෙකුයි අපේ ගෙදර ආවා. මම අම්මාට උදව් කරන හැටි, ගෙදර වැඩ කරන හැටි ඒ ගොල්ල බලාගෙන හිටියා. ඊට පස්සේ අම්මයි මායි මේ ඉස්පිරිතාලෙට එක්කර ගෙන ආවා. මෙහේ වැඩ කරන ඔක්කොටම මට ආදරෙයි. පාඩම් කරන්නත් සියලු පහසුකම් මේ වාට්ටුවේ කොනක සකස් කරලා තියෙනවා.
මම දැන් යන්නේ බල්ලකෙටුව සුගත විද්‍යාලයට. පහසුකම් ඇතිව ඉගෙන ගන්න ගමන් අම්මාගේ දුකසැප බලන්න ලැබීම ගැන සතුටු වෙනවා. මම මුලින් ඉගෙන ගත්ත පාසලේදී පන්තියේ පළමු වැනියා හෝ දෙවැනියා වුණා. මේ පාසලේ අනිවාර්යයෙන්ම පන්තියේ පළමු වැනියා වෙනවා. හොඳට ඉගෙන ගෙන දේශීය වෛද්‍යවරියක් වෙලා මේ ග්‍රාමීය රෝහලටම ඇවිත් අහිංසක ලෙඩ්ඩු සුවපත් කරනවා"
මේ පිළිබඳව අදහස් දැක්වූ වෛද්‍ය කැලුම් මනම්පේරි මහතා,
“මේ දුව බල්ලකෙටුව පාසලේ 07 වැනි ශ්‍රේණියට ඇතුළත් කරලා ඉගෙන ගන්න හැම උදව්වක්ම කරන අතර, 56 හැවිරිදි අම්මාගේ රෝගී තත්ත්වය සුවපත් කරන්න කටයුතු කරගෙන යනවා. දියණිය ආරක්ෂිතව මෙහි නතර කර ගැනීමට ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතාගේ උපදෙස් මත ඌව පළාත් සභාවේ ප්‍රධාන ලේකම් ගාමිණී රාජකරුණා, ඌව පළාත් ආයුර්වේද කොමසාරිස් පී. ඩබ්ලිව්. දිසානායක, ඌව පළාත් පරිවාස හා ළමාරක්ෂක කොමසාරිස්වරිය යන නිලධාරීන් නීතිමය අවසර ලබාදුන්නා.
මේ අම්මා අංශ බාගයෙන් පෙළෙනවා. ඇය සුවපත් කරන්න පුළුවන් කියලා විශ්වාසය මට තියෙනවා. ඇය සුවපත් වුණාට පසු දියණිය සමග ඔවුන්ගේම ගෙදරට යන්න පුළුවන්. එත් මේ දියණියගේ ආරක්ෂාව මෙන්ම මේ දෙන්නාගේ අනාගතය වෙනුවෙන් කිසියම් ආර්ථික වැඩපිළිවෙළක් සකස් කළ යුතු වෙනවා" යැයි පවසා සිටියේය.
වෛද්‍ය කැලුම් මනම්පේරි මහතා - 055-2285200