OnePlus සමාගම අංක 4 මගහැර ඒ වෙනුවට OnePlus 3T නමින් උපාංගයක් වෙළඳපොලට නිකුත් කරන්නේ අංක 4 සම්බන්ධයෙන් එම සමාගමේ මවු රට වන චීනයේ ඇති විශ්වාස නිසා දැයි අප නොදනිමු. ඒ කෙසේවුවත් OnePlus වෙතින් සම්බන්ධයෙන් නවතම ආරංචියක් මේ දිනවල පැතිර යමින් පවතී.
ඒ ඔවුන්ගේ නවතම උපාංගයේ ආගමනය සම්බන්ධව වේ. අංක 4 අතහැර එන නව ස්මාට්ෆෝන් බලවතා වන OnePlus 5 සම්බන්ධයෙන් නිල නිවේදන නිකුත් වී හමාර වුවත්, එහි සැකැස්ම සම්බන්ධ විස්තීර්ණ තොරතුරු මෙතෙක් හෙළිදරවු වී නොතිබුණි. දැන් එහි සැකැස්ම පිළිබඳවද සටහන් රහස් මාර්ගවලින් එළිවෙමින් පවතියි.
මෙම ආරංචි වලට අනුව OnePlus 5 ස්මාට්ෆෝනය සෙරමික් පසුපස ආවරණයකින් යුතුව නිකුත්වනු ඇතිද යන්න සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු තුළ සැකයක් පවතී. එසේම අප මින් පෙරද කියූ ලෙසට මෙම ස්මාට්ෆෝනයේ ඉදිරිපස කැමරා දෙකක් තිබෙනු ඇති බවත් සහතික වන තොරතුරු මේ වනවිට ලැබෙමින් පවත්නා අතරම, මෙහි පරිගණක බලය වෙනුවෙන් මේ මොහොතේ ස්මාට්ෆෝන් ප්‍රොසෙසරයන් අතර සිටිනා විශිෂ්ටතමයා වන Qualcomm Snapdragon 835 ද ස්ථාපනය වී OnePlus 5 නිකුත් වීමට නියමිතයි.
මෙම සියලුම දත්ත සටහන් නිරීක්ෂණයේදී එක් දෙයක් පැහැදිලි වේ. එනම් OnePlus සමාගම තම නවතම තරගකරුවා පිටියට යොමුකරන්නේ වර්තමානයේ ඇති නවීනතම ස්මාට්ෆෝනයන් සමගින් තරග වැදීමට මෙන්ම. දැඩි ලෙසින් සෙල්ෆි තරගයට මුහුණ දීමටද සූදානමින් බවයි.
මෙහි ශබ්දය වෙනස් කරන ස්ලයිඩරයද සිය පූර්වජයා වූ OnePlus 3T හරහා මෙයට පැමිණ තිබේ. බොහෝදෙනෙකු උපකල්පනය කළ නවතම OnePlus උපාංගයට වඩා වෙනස් තත්ත්වයක් මේ වනවිට OnePlus 5 ස්මාට්ෆෝනය සම්බන්ධයෙන් දැකිය හැකි අතර වඩාත් වෙනස් හැඩයක ස්මාට්ෆෝනයක් සිය පාරිභෝගිකයින්ට ලබාදීමට වඩා, වඩාත් වෙනස් ස්මාට්ෆෝන් අත්දැකීමක් ඔවුන්ට ලබාදීමට OnePlus සමාගම සිය පස්වන උපාංගය වන OnePlus 5 මගින් උත්සාහ කරනු ඇති බව පැහැදිලිවේ.