වර්තමාන ඩිජිටල් ලෝකයේ චිත්‍රයක් ඇඳීම පවා පරිගණකයට පැවරීම අසීරු කාර්යයක් නොවේ. අවශ්‍ය නම් ඒ සඳහා මිනිස් සහාය ලබාදීමටද හැකියාව ඇත. එනමුත් මිනිස් අතකින් ඇඳෙනා චිත්රයක ඇති අසම්පූර්ණ භාවයන්, ඒ තුළ කැටිවූ හැඟීම් යනාදිය සමගින් මැවෙනා කලා පරිපූර්ණත්වය පරිගණකයකට ලබාගැනීමට තවමත් නොහැකි වේ.
තවමත් චිත්‍ර කලාව වැනි කලා කුසලතාවයන්ගෙන් නිර්මාණය වන උත්කෘෂ්ට කෘතීන් සඳහා මිනිස් ස්පර්ෂය අවශ්‍ය වන්නේ ඒ නිසාමයි. එසේ වුවත් මිනිස් අතකින් නිම වන කලා කෘතියක් පැරණි ආකෘතියෙන් මිදී ඩිජිටල් උපාංගයන් භාවිතා කොට නිමැවිය හැකි නම් ඊට පසුබට වීම අවශ්‍ය නොවේ.
වර්තමානයේ චිත්‍ර ශිල්පීන්, කාටූන් ශිල්පීන්, සැලසුම් නිර්මාණකරුවන් වැනි බොහෝ නිර්මාණශීලීත්වය සහ මිනිස් අතක ස්පර්ෂය අවශ්‍ය වන ක්ෂේත්රයන්හි වෘත්තිකයින් විසින් ග්‍රැෆික් ටැබ්ලට් උපාංග භාවිතා කරන්නේ ඒ හෙයිනි. ග්‍රැෆික් ටැබ්ලටයකින් ලබාදෙන ස්පර්ෂ තිරයක් මත කැන්වසයක හෝ කොළයක රූ සටහන්, චිත්‍ර, සැලසුම් ඇඳීමේ පහසුවෙන්ම ඔබට සටහන්, සිත්තම් තැබිය හැකි අතර, වර්ණ, මාධ්‍ය තෝරාගැනීමේ සිට බුරුසු, පැන්සල් තෝරාගැනීම දක්වාම ඔබට මනා පහසුතාවයක්ද එයින් ලබාදෙයි.
පසුගිය කාලය පුරාවටම විවිධාකාරයේ ග්‍රැෆික් ටැබ්ලට් උපාංගයන් විවිධ සන්නාම ඔස්සේ එළිදැක්වූවත්, ග්‍රැෆික් ටැබ්ලට් ලෝකයේ මහත් ජනප්‍රියත්වයක් ලබාගැනීමට Microsoft Surface Studio සමත්ව තිබිණි.
මෙහි හැකියාවන් සහ පහසුකම් සමගින් එය වෘත්තිකයින් අතර ඉහළ ජනාදරයක් ලබාගත්තද, මෙහි එක් ප්‍රධාන අඩුපාඩුවක් වූයේ ඉතාමත් ඉහළ මිලයි. එය එක්සත් ජනපදයේ පවා අලෙවි වූයේ ඩොලර් 3,000 ක මිලටයි. මෙය බදු හෝ වෙනත් ගාස්තු නොමැතිව බැලුවද දළ වශයෙන් රුපියල් ලක්ෂ 4.5 ක් පමණ වේ. ග්‍රැෆික් ටැබ්ලටයක් ලෙසින් මෙය විශිෂ්ට වූවත්, සැබවින්ම එම මිලට එය මිලදී ගත යුතුද යන්න බොහෝ දෙනෙකු ඇසූ පැනයයි.
මෙයට පිළිතුරක් ලබාදෙමින් තවත් ප්‍රවීණයින් පිරිසක් ප්‍රකාශ කොට සිටියේ, චිත්‍ර ශිල්පයේ හෝ කාටූන් නිර්මාණයේ හෝ සැලසුම් නිර්මාණයේ යෙදෙනා වෘත්තිකයෙකුට සැබවින්ම අවශ්‍ය වන්නේ තමන් දැනටමත් භාවිතා කරනා ලැප්ටොප් උපාංගය හෝ ඩෙක්ස්ටොප් පරිගණකය ඔස්සේ පරිගණක බලය උකහාගනිමින් ක්‍රියාත්මක විය හැකි විශාල ග්‍රැෆික් ටැබ්ලට් ස්පර්ෂ තිරයක් පමණක් බවයි. හඳුන්වා දෙන Dell Canvas උපාංගය බිහි වන්නේ මෙම සංකල්පය ඉදිරියට ගෙන එමිනි!
මෙම Dell Canvas උපාංගය දැවැන්ත ප්‍රමාණයේ, එනම් අඟල් 27 ක quad-HD Adobe RGB විශාල ටච්ස්ක්රීන් පැනලයක් නැතිනම් තිරයක් ලෙසින් හැඳින්වීම වඩාත් යෝග්‍ය වේ. මෙය පික්සල් 2560 x 1440 ක විභේදනයකින් යුක්ත වේ.
මෙය නිපදවා ඇත්තේම ඔබට මේසයක් මත පැතලි අතට තබා භාවිතා කිරීමට හැකිවන අයුරිනි. කෙසේ වෙතත් අවශ්‍ය නම් ඔබට මෙය අංශක 10 ක ආනතියකට හරවා ස්ථාවරව තැබීමට ආධාරකයක්ද මෙහි තිබේ. එසේම මෙයට බාහිරින් එක් කළ හැකි ආධාරකයක් ඔස්සේ අවශ්‍ය නම් අංශක 80 ක් දක්වා ආනතියකින් යුතුව Dell Canvas පැනලය භාවිතා කිරීමටද හැකියාව තිබේ.
Dell සමාගම විසින් පවසන ආකාරයට මෙම ටැබ්ලට් පැනලයේ ඇත්තේ LCD තිරයක් වන අතර, එය දිලිසුම් රහිත (anti-glare) Corning Gorilla Glass ආරක්ෂක තිරයක් සමගින් සංයුක්ත කොට තිබේ.
එසේම ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කරනා ආකාරයට ඔබ භාවිතා කරනා ස්ටයිලස් පෑන සහ තිරය අතර අන්තර් ක්‍රියාකාරීත්වය කිසිදු ප්‍රමාද කාලයකින් තොරවන අතර, එනිසා ඔබට සාමාන්‍ය කැන්වසයක් මත භෞතික ඇඳීමකදී අත්දකින්නට ලැබෙනා ආකාරයට තත්‍යකාලීනව මෙම පැනලය භාවිතා කිරීමට ලැබෙනු ඇත. එසේම මෙහි 20-points ස්පර්ෂ හඳුනාගැනීමේ සංවේදීතාවයක්ද තිබෙනා නිසා ඇඳීමේ කටයුතු වඩාත් නිරවද්‍යතාවයකින් සහ පහසුතාවයකින් සිදුවනු ඇත.
එසේම Dell Canvas පැනලයේ ඉතාමත් පුළුල් දාරයන් තිබෙන්නේ ස්පර්ෂ තිරය මත අත නොතබමින් ශිල්පියාට වඩාත් පහසුවෙන් ඇඳීමේ නිරතවිය හැකි වන පරිද්දෙනි.
Dell Canvas තිරය සමගින් පීඩනයට සංවේදී ඩිජිටල් පෑනක් පැමිණෙන අතර, මෙය විශේෂයෙන්ම සැලසුම් කොට ඇත්තේ හැකිතරම් තත්‍ය අත්දැකීමක් පරිශීලකයාට ලබාදෙන අභිප්‍රායෙනි. එසේම මෙම ඩිජිටල් පෑන සඳහා මාරු කළ හැකි තුඩු තිබෙන්නේ ශිල්පියාට අවශ්‍ය ලෙසින් විවිධ රේඛා හෝ බුරුසු ආකෘතීන් ලබාගැනීමට හැකි පරිද්දෙනි.
එසේම මේ සමගින් Totem යනුවෙන් හඳුන්වන රැහැන් රහිතව ක්‍රියාත්මක වන ඩයලයක්ද ලැබේ. එය අවශ්‍ය විටක තිරය මත තැබීමට හැකි අතර, ඒ මගින් ඔබ එක් අතකින් ඩිජිටල් පෑන අල්ලාගෙන සිටිනා විටකදී ක්ෂණයකින් වර්ණ මාරු කිරීමට, මෙනු අයිතමයන් අතර ගමන් කිරීමට වැනි බොහෝ දෑ කිරීමට අවකාශ ලැබේ.
මෙය වින්ඩෝස් 10 හෝ එහි යාවත්කාලීනයන් ඇති ඕනෑම පරිගණකයක් හා මනාව සහයෝගයෙන් ක්‍රියාත්මක වන ලෙසින් නිර්මාණය කෙරී තිබේ.