ලංකාවේ අපට බොහෝ විට මුද්‍රිත ඡායාරූපයක් යැයි කියූ විට සිතට නැඟෙන්නේ සම්මත 4R හෙවත් අඟල් 6 දිග අඟල් 4 ක් පළල ප්‍රමාණයයි. කෙසේ නමුත් වර්තමානයේදී බොහෝ දෙනෙකු සිය ඡායාරූපයන් මුද්‍රණය කොට ෆොටෝ ඇල්බමයක් තුළට නොදැමීමත්, ඒ වෙනුවට ෆේස්බුක් හෝ ඉන්ස්ටග්‍රෑම් වැනි සේවාවන් තුළ ඩිජිටල් ඇල්බමයන් ලෙසින් සිය ඡායාරූප එකතූන් පවත්වා ගෙන යෑමට හුරුවී තිබීමත් නිසා මෙම 4R ප්‍රමාණය හෙවත් 3:2 පරිමාණයේ ඡායාරූප වෙනුවට ෆේස්බුක් ප්‍රොෆයිල් ඡායාරූපයන් හෝ ඉන්ස්ටග්‍රෑම් ඡායාරූපයන් හි පරිමාණය වන 1:1 ප්‍රමාණය නව සම්මතය බවට පත්ව තිබේ.
මෙම හරි හතරැස් ඡායාරූපයන් මුද්‍රණය කිරීමේදී තවමත් සංස්කරණය කිරීමට සිදුවේ. කෙසේ වුවත් මෙම නව ඡායාරූප පරිමාණය වඩාත් පරිශීලකයින් හට සමීප වන ආකාරයේ නිර්මාණයක් ෆූජි ෆිල්ම් වෙතින් එළිදැක්වී තිබේ. එනම් ඔබට ඡායාරූපයක් ගෙන, ක්ෂණිකව මුද්‍රිත පිටපතක්ද ගත හැකි Instant Print වර්ගයේ කැමරාවකි.
මෙහි විශේෂත්වය වන්නේ එයින් ලැබෙන්නේ ඔබට ඉන්ස්ටග්‍රෑම් ආකාරයේ 1:1 පරිමාණයේ ඡායාරූපයක් වීමයි. මෙම කැමරාව බැලූ බැල්මට ඔබට සිහිපත් කරනු ඇත්තේ ඉන්ස්ටග්‍රෑම් ලෝගෝවයි. එසේම මෙයින් ලබාගන්නා මුද්‍රිත ඡායාරූප ඇල්බමයක් දකින විට ඔබට ඉන්ස්ටග්‍රෑම් ෆීඩ් එක ඔස්සේ පිරික්සන ආකාරයේ හැඟීමක්ද ජනිත වනු ඇත.
මෙම Fujifilm Instax Square SQ10 උපාංගයේ මෙගාපික්සල් 3.7 ක සෙන්සරයක්, 28.5mm ප්‍රමාණයේ එනම් f/2.4 ප්‍රමාණයට සමාන ඔටෝ ෆෝකස් ලෙන්සයක් මෙන්ම ඉමේජ් ප්‍රොසෙසින් තාක්ෂණය ඇතුලත් කොට ඇත. මෙනිසා ඔබට පහසුවෙන්ම අඩු ආලෝක තත්ව යටතේදී වුවත් ඉහළ ගුණාත්මක තත්වයේ ඡායාරූප ලබාගැනීමට ඔබට හැකිවනු ඇත.
මෙහි automatic exposure control, human detection, and autofocus වැනි හැකියාවන් තිබීමද පරිශීලකයා හට මෙය භාවිතයෙන් ඡායාරූපයක් ගැනීම වඩාත් පහසු කටයුත්තක් බවට පත් කරවනු ඇත.
මෙහි පිටුපස අඟල් 3 ක LCD තිරයක් තිබෙනා අතර, පහසුවෙන්ම ක්‍රියාකරවිය හැකි පාලක බොත්තම් පෙලක් සහ පාලක වළල්ලක්ද තිබේ. මේ මගින් ඔබට ගන්නා ඡායාරූපයේ ආලෝක තත්වයන්, වර්ණ තත්වයන් යනාදී තාක්ෂණික කරුණු කාරණාවන් සැකසුම් කිරීමේ හැකියාව තිබේ.
ඒ සඳහා තාක්ෂණික දැනුම නොමැති නම් හෝ එය වඩාත් කරදරකාරී යැයි සිතෙන්නේ නම් ස්වයංක්‍රීයව වඩාත් ගැලපෙන තාක්ෂණික තත්වයන් කැමරාව මගින්ම සැකසුම් කරදෙන Auto ආකාරයෙන් ඡායාරූප ගැනීමටද හැකියාව ඇත.
එසේම මෙහි ඇති තවත් විශේෂත්වයක් වන්නේ ඉන්ස්ටග්‍රෑම් පන්නයේම ඩිජිටල් ෆිල්ටරයන් එකතුවක් මෙහි තිබීමයි. එනම් බොහෝ විට එතරම් විශිෂ්ට නොවන ඡායාරූපයක් වුවද ඉන්ස්ටග්‍රෑම් හි ඇති විවිධාකාරයේ ෆිල්ටරයන් හා සැකසුම් හරහා විශිෂ්ට නිර්මාණයක් බවට පත් කිරීමට ඇති හැකියාව මෙහිදීද යොදාගෙන තිබේ.
කෙසේ වුවත් මෙහි ඇත්තේ ඩිජිටල් ෆිල්ටරයන් 10 ක් පමණි. ඔබට එම ෆිල්ටර එකතුව සහ අනෙකුත් සංස්කරණ විකල්පයන් සමගින් ඔබ ග්‍රහණය කරගන්නා ඡායාරූපයේ සුන්දරත්වය ඔප් නැංවීමට හැකිවනු ඇත. ඉන් අනතුරුව එම ඡායාරූපය මුද්‍රණය කිරීමට විධාන කළ හැක.
මෙහි ඇති අනෙකුත් හැකියාවන් අතර සඳහන් කළ යුත්තේ මෙහි ඇති අභ්‍යන්තර මතකයට එක් වරකට ඡායාරූප 50 ක් පමණ මතකයේ තබාගත හැකි බවයි. එම ධාරිතාව ප්‍රමාණවත් නොවේ යැයි හැඟෙන්නේ නම් ඔබට අමතර මතක චිපයක් ඇතුළත් කිරීම සඳහා SD card slot එකක්ද මෙහි තිබේ. එසේම මෙහි ඇති නැවත ආරෝපණය කළ හැකි බැටරියට එක් ආරෝපණයකින් ඡායාරූප 160 ක් මුද්‍රණය කිරීම සඳහා බලය සැපයිය හැක.