කලකට ඉහතදී සුඛෝපභෝගී භාවිතාව සඳහා වෙන්වූ උපාංගයක් ලෙසින් සැලකුණු ස්මාට් වොච් යනු තවදුරටත් එසේ එක්තරා කොටසකට පමණක් සීමා වූ භාණ්ඩයක් නොවේ. ස්මාට් ෆෝන් සේම ස්මාට් වොච් ද අද වනවිට සමාජයේ බහුතරය අතර ප්‍රචලිත වීම ආරම්භ වී තිබේ. මෙයට එක් හේතුවක් ලෙසින් සැලකිය හැක්කේ ශරීර සුවතාව සම්බන්ධයෙන් ඇතිවී තිබෙනා නව උනන්දුවයි. මේ නිසා ස්මාට් වොච් උපාංගයන්ටත් වඩා ශරීර සුවතාව අධීක්ෂණය කරනා ෆිට්නස් ට්‍රැකර් උපාංගයන් ජනප්‍රිය වී තිබේ. එනමුත් ස්මා ට්වොච් උපාංගයකට ෆිට්නස් ට්‍රැකර් එකක ක්‍රියාකාරීත්වය මෙන්ම එයට වඩා තවත් බොහෝ හැකියාවන්ද අන්තර්ගත වීම නිසාවෙන් ස්මා ට්වොච් වෙත මේ වනවිට වැඩි අවධානයක් යොමුවී තිබේ.
පසුගිය වසරේදී Gear S3 මොඩලයේ ස්මාට් උපාංගයන් දෙකක් නිකුත් කිරීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් දීර්ඝ නිශ්ශබ්දතාවක පසු වූ Samsung සමාගම මෙම වසර වෙනුවෙන් Samsung Gear Sport උපාංගය අවසානයේදී එළිදක්වා තිබේ.
මෙම නව Gear Sport උපාංගය මින් පෙර වසරේ පැමිණි Gear S3 උපාංගයන්ට වඩා ප්‍රමාණයෙන් කුඩා වන අතරම වඩාත් හුරුබුහුටි, සැහැල්ලු නිමාවකින්ද යුක්ත වේ. පෙර වසරේ එළිදැක්වුණු Gear S3 උපාංගයන් මිලිමීටර් 46 ක කේසිනයකින් සහ අඟල් 1.3ක තිරයකින් යුක්ත වූ අතර, නව Gear Sport උපාංගය මිලිමීටර් 42 ක මල නොබැඳෙන වානේ කේසිනයකින් සහ අඟල් 1.2 ක වෘත්තාකාර තිරයකින් සමන්විත වේ. මෙහි අතේ බැඳෙනා පටියද වඩාත් සිහින් සහ අතට පහසු වේ. එසේ වුවත් යම් යම් පරිශීලකයින්ගේ අදහස වන්නේ මෙය Gear S3 උපාංගයේ සිලිකන් පටියට වඩා 'පෙනුමෙන්ම'ඳක් බාල වන බවයි. මෙය නිල් සහ කළු ලෙසින් වර්ණයන් දෙකකින් පැමිණේ.
මෙහි අඟල් 1.2 ක Full Color Super AMOLED තිරය 360 x 360 විභේදනයක් (302ppi) ලබාදෙන අතර, Corning Gorilla Glass 3 ආරක්ෂක ආවරණයකින් වැසී පවතී. මෙහි Dual-core 1.0GhHz ප්‍රොසෙසරයක් ස්ථාපිතව ඇති අතර, මෙගා බයිට් 768 ක රැම් මතකයක් සහ ගිගා බයිට් 4 ක අභ්‍යන්තර මතකයක්ද තිබේ. එයින් ගිගාබයිට් 1.6 ක් පරිශීලක ප්‍රයෝජනය සඳහා වෙන් කොට ඇත. මෙය Tizen 3.0 පදනම් කරගත් මෙහෙයුම් පද්ධතියක් මතින් ක්‍රියාත්මක වන අතර, රැහැන් රහිතව ආරෝපණය කළ හැකි 300mAh ප්‍රමාණයේ Li-Ion බැටරියකින් පණගැන්වේ. මල නොකන වානේවලින් නිර්මිත බඳ MIL-STD-810G සහතිකය සමගින් පැමිණෙන අතර, මීටර් 50 ක් දක්වා ජලයට ප්‍රතිරෝධී ගුණයද මෙහි තිබේ. මෙහි Accelerometer, barometer, gyro sensor, optical HR sensor සහ light sensor යන සංවේදකයන්ද අන්තර්ගත කොට තිබෙනා අතර, Bluetooth v4.2, Wi-Fi, NFC රැහැන් රහිත සම්බන්ධතාවන් මෙන්ම GPS හැකියාවන්ද තිබේ. ඔබට විවිධ සිහිකැඳවීම් කිරීම සඳහා මෙහි ස්පීකරයක්ද තිබෙනා අතර, කම්පන සිහිකැඳවීම් හැකියාවද මෙහි ඇත. එසේම ඔබට S-Voice හරහා වැඩකටයුතු කිරීමට පහසුවන පරිද්දෙන් මයික්රෆෝනයක්ද මෙහි ස්ථාපිතව ඇත. මෙය Android 4.4 හෝ ඉහළ මෙහෙයුම් පද්ධති සහිත ස්මාට් ෆෝනයන් සඳහා මෙන්ම, අයිෆෝන් 5 හෝ iOS 9.0 සිට ඉහළ මෙහෙයුම් පද්ධති ඇති අයිෆෝනයන් සඳහාද සහාය දක්වයි.
මෙහි නිෂ්පාදකයින් විසින් ප්‍රධාන වශයෙන්ම Gear Sport උපාංගය දක්වා ඇත්තේ ශාරීරික සුවතාව වෙත වඩාත් ඉලක්ක ගත වූ නිෂ්පාදනයක් ලෙසිනි. වඩාත් පරිශීලක මිත්‍රශීලී ආකාරයකින් නිර්මාණය වී ඇති මෙය ඔබගේ ස්මාට් ෆෝනයේ ඇති ශරීර සුවතා පුහුණු යෙදුමේ සහාය සහිතව, නිරන්තරයෙන් ඔබේ හෘද ස්පන්දන වේගය මැන බලමින්, ඔබ තෝරාගන්නා ව්‍යායාම වැඩසටහන ඔස්සේ ඔබව ගෙනයෑමට කටයුතු කරනු ඇත. ඔබට මෙහිදී තෝරාගැනීමට ව්‍යායාම වැඩසටහන් හැටකට අධික ප්‍රමාණයක් මෙහි තිබේ.
එසේම මෙයට ඔබ තෝරාගන්නා වෙනත් ක්‍රීඩාවක් හරහා වුවද මනා ව්‍යායාමයක් ලබාගැනීමට හැකි ආකාරයෙන් සහාය දැක්වීමට හැකියාව තිබේ. උදාහරණයක් ලෙසින් දක්වන්නේ නම්, ඔබේ ප්‍රියතම ශාරීරික සුවතාවය සඳහා වන් ක්‍රීඩාව පිහිනීම නම්, ඔබගේ පිහිනුම් ආර, ඔබ එක් පිහිනුම් වටයක් අවසන් කිරීමට ගන්නා කාලය, ඔබේ හෘද ස්පන්දන වේගය මෙන්ම කැලරි දහන වේගයද නිරන්තරයෙන් අධීක්ෂණය කරමින්, ඔබට එයින් උපරිම ප්‍රතිඵල ලබාගැනීමට මාර්ගෝපදේශනය සපයනු ඇත.
එසේම මෙය ඔබ නිකම් හිඳ සිටිනා අවස්ථාවක ඕනෑවට වඩා වේලාවක් හිඳ සිටිනා බව දැනගනිමින්, ඔබට අත් පා දිග හැරීමට කාලය පැමිණ ඇති බවට සිහිකැඳවීම් නිකුත් කිරීමට තරම් නිරන්තර අවධානයකින් සිටිනු ඇත. එසේ වුවත් ඔබ රිය පදවන අවස්ථාවක ඒ බව දැනගනිමින් සිහි කැඳවීම් නිකුත් නොකිරීමට තරම් ඥානවන්ත වේ.
ඔබට මෙම Gear Sport උපාංගයේ තිරය මත ඇඟිල්ල යැවීමකින් හෝ මුහුණත වටා ඇති දාරය ඔස්සේ ඇඟිල්ල ගෙන යෑමකින් පහසුවෙන්ම මෙය පාලනය කිරීමටද අවකාශ ඇත. උදාහරණයක් ලෙසින් දක්වන්නේ නම්, කෙටි පණිවුඩයක් ඔබේ ස්මාට් ෆෝනයට ලැබුණු විටකදී එය හා රැහැන් රහිතව සම්බන්ධව සිටිනා උපාංගය වෙත එය පැමිණෙන අතර, ඔබට මුහුණත දාරය භාවිතයෙන් ඊට ප්‍රතිචාර දැක්වීමට පවා හැකියාව ඇත. මෙයට අමතරව Gear Sport උපාංගයට විවිධ යෙදුම් ස්ථාපනය කිරීම හරහා ස්මාට් වොච් උපාංගයක පරාසයේ පවතින වෙනත් විවිධ හැකියාවන් භාවිත කිරීමටද ඔබට හැක.
කෙසේ වුවත් මෙය හුදු ෆිට්නස් ට්‍රැකර් උපාංගයක් නොව, ඉහළ පෙළේ ස්මාට් ෆෝන් නිෂ්පාදන සන්නාමයක් හරහා පැමිණෙන ස්මාට් වොච් එකක් වීම නිසාම මෙහි මිලද ඉහළ මට්ටමක පවතී. ඔබට ඉහළ වෙළෙඳ නාමයක් සහිත නවීනතම මධ්‍යම ශක්‍යතා ස්මාට් ෆෝනයක් මිලදී ගන්නා මුදලට සමාන මුදලක් Samsung Gear Sport සඳහාද වැය කිරීමට සිදුවනු ඇත.