අතීතයේදී ලැප්ටොප් පරිගණකයක බැටරියෙන් සැපයෙන බලය එක දිගට පැය හතරක් හෝ පහක් ප්‍රධාන විදුලියට සම්බන්ධ නොකොට වැඩ කිරීමට ප්‍රමාණවත් වූවත්, වර්තමානය වන විට ලැප්ටොප් උපාංගයන් වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ජංගම භාවිතයට යෙදවීම සමගින් එවැනි බැටරි බලයක් ප්‍රමාණවත් නොවන තත්වයක් උද්ගතවී තිබේ. මෙසේ ලැප්ටොප් පරිගණකයක් බැටරියෙන් ක්‍රියාත්මක කළ හැකි කාලය වඩාත් දිගු විය යුතු බවට පරිශීලක අවශ්‍යතාවන් සැකසීමත් සමගින්, ලැප්ටොප් පරිගණක නිෂ්පාදකයන්ද වඩාත් ඉහළ බැටරි බලයක් නැතිනම් එක් ආරෝපණයකින් වඩාත් දීර්ඝ කාලයක් ක්‍රියාත්මක වීමක් ලබාදීම සඳහා ඉහළ අවධානයක් යොමු කොට තිබේ. මේ සමගින්ම වර්තමානයේ ලැප්ටොප් පරිගණක වඩ වඩාත් ප්‍රබල යන්ත්රයන් බවට පරිණාමය වීම සමගින්, එම ප්‍රබල දෘඪාංගයන් අඩු බැටරි බලයක් පරිභෝජනය කරනා ලෙසින් උපරිම බැටරි කාර්යක්ෂමතාවක් ලබාගැනීමද මෙයටම ඇතුත් වේ. මෙම සියලුම කරුණු සමගින් LG සමාගම විසින් පැය 22.5 කට වඩා වැඩි කාලයක් එක දිගට ක්‍රියාත්මක කළ හැකි බැටරි බලයක් සහිතව LG Gram ලැප්ටොප් පරිගණකය එළිදක්වා තිබේ.
මෙහිදී බැලූ බැල්මට පෙනෙනා විශේෂත්වය වන්නේ LG සමාගමෙන් මින් පෙර එළිදැක්වුණු මෙම වර්ගයේ ලැප්ටොප් උපාංගයන් මෙන්ම සිහින්, හුරුබුහුටි නිමාව පවත්වා ගත්තද, LG Gram ලැප්ටොප් උපාංගයේ ප්‍රබලත්වය මෙන්ම කලින් කියූ ලෙසටම බැටරි බලය සුවිශේෂී ලෙසින් ඉහළ දැමීමට නිෂ්පාදකයන් සමත් වී තිබීමයි.
මෙම ලැප්ටොප් පරිගණකය බලගැන්වෙන්නේ 8th-gen Intel ප්රොසෙසරයන්ගෙන් වන අතර, Core i5 හෝ Core i7 යන සංස්කරණයන්ගෙන් තෝරාගැනීම් කිරීමට හැකියාව තිබේ. එසේම ප්‍රබල ග්‍රැෆික් ප්‍රොසෙසරයන් මෙන්ම SSD මතක ධාරිතාවන්ද ස්ථාපිතව පැමිණෙන මෙම ලැප්ටොප් පරිගණකයක කාර්යක්ෂමතාව මින් පෙර වූ ලැප්ටොප් උපාංගයන්ට වඩා 40% කින් පමණ ඉහළ ගොස් තිබෙනා අතර, උදාහරණ ලෙසින් දක්වන්නේ නම් බූට් වීම සඳහා තත්පර 10ක්වත් ගත නොවනා බව දැක්විය හැක.
මෙම LG Gram පරිගණක පෙළ අඟල් 13.3, අඟල් 14 සහ අඟල් 15.6 යන තිර ප්‍රමාණයන්ගෙන් ලබාගත හැකි අතර, වැඩිම තිර ප්‍රමාණය ඇති යන්ත්‍රය පවා කිලෝග්‍රෑම් එකකට වඩා බර නොවීම විශේෂත්වයකි. මේවායේ full 1080p IPS තිරයන් ඇති අතර, තිරය වටා ඇති දාරය ප්‍රමාණයෙන් සැලකිය යුතු පරිද්දෙන් කුඩා වී ඇත. කෙසේ වුවත් මෙම තිර ප්‍රමාණයන් ත්‍රිත්වයේම පරිගණක වෙත සැපයී ඇත්තේ 72Wh බලයෙන් යුතු බැටරි බැවින්, තිර ප්‍රමාණය අඟල් 15.6 ප්‍රමාණයේ ලැප්ටොප් පරිගණකය නොනවත්වාම ක්‍රියාත්මක කරවිය හැකි කාලය පැය 19 කට සීමා වනු ඇත. කෙසේ වුවත් එයද සාපේක්ෂව බැලූ විට දිනයක වැඩ කරන පැය ගණනටත් වඩා එපිටින් ඇති බව මෙහිදී පෙන්වා දිය යුතුවේ.
නැනෝ කාර්බන් මැග්නීසියම් ෆුල් මෙටල් ඇලෝයි කේසිනයකින් යුක්ත මෙම LG Gram පරිගණක MIL-STD 810G තත්ව සහතිකය ලබා ඇති නිසා වඩාත් හොඳින් බිම වැටීම්වලට, පීඩනයට මෙන්ම උෂ්ණත්වයටද ඔරොත්තු දෙන බව කියැවේ. LG Gram ලැප්ටොප් උපාංගයන්ගේ වැඩිමනක් පිරිවිතර සම්බන්ධයෙන් තවමත් අසන්නට නොලැබෙන නමුත්, 2TB හෝ ඇතැම් විට 4TB ප්‍රමාණයේ මතක ධාරිතාවන් හා ඒ හා සම වන අනෙකුත් දෘඪාංගයන්ගෙන් සමන්විත වනු ඇතැයි අනුමාන කළ හැක. එසේම LG සමාගමේ නවීනතම IPS In-cell Touch තාක්ෂණය සහිත Touch Screen එකක් සහ Fingerprint Reader වැනි සුවිශේෂී පහසුකම්ද LG Gram ලැප්ටොප් උපාංග සමගින් දක්නට ලැබෙනු ඇතැයි නිෂ්පාදකයන් පවසා සිටී. එසේම මෙයට ThunderboltTM 3 සම්බන්ධතාව සැපයෙනු ඇතැයිද ඔවුන් පවසන අතර, ඒ මගින් දැනට දක්නට ලැබෙනා USB Type-C සම්බන්ධතාව මෙන් අට ගුණයක් වේගයෙන් දත්ත හුවමාරුවට අවකාශය ලැබෙනු ඇත. මෙම LG Gram ලැප්ටොප් උපාංග 2018 පළමුවන කාර්තුවේදී වෙළෙඳපොළට පැමිණෙනු ඇත.