ඇමසන් සමාගම මේ වනවිට අනාගතයටද ඔබිනා ස්මාට් තාක්ෂණයන් ලෝකයට හඳුන්වාදීමේ පුරෝගාමියෙකු බවට පත්ව සිටී. ඔවුන් විසින් හඳුන්වාදෙන ලද 'ඇලෙක්සා' නම් තත්‍යාසන්න සහකරුවා සහ එයින් බලගැන්වෙන ස්පීකර්/මයික්‍රෆෝන් පද්ධතිය ඒ සඳහා කදිම උදාහරණයක් සපයනු ඇත. කෙසේ නමුත් ඇමසන් සමාගම අපව පුදුමයට පත්කරවීමේ ව්‍යායාමය නිමාකර නැති බව පැහැදිලිවම පෙනී යන කාරණාවකි.
ඇමසන් සමාගම මගින් නව තාක්ෂණික කැමරාවක් නිර්මාණය කරනා බව පැවසූ විට, එය ඔබට සාමාන්‍ය පරිදි ඡායාරූප ගැනීමට නිෂ්පාදනය වූ කැමරාවක් නොවනා බව අනුමාන කිරීම අපහසු කරුණක් නොවුණි. බොහෝ දෙනෙකු අනුමාන කළ කාරණාව වූයේ, මෙම නව කැමරාව මගින් ඇලෙක්සා තත්‍යාසන්න සහකරුවාගේ සහායද සමගින් ඔබගේ නිවසේ ආරක්ෂාව වඩාත් තර කිරීමට උපකාරී වනු ඇති බවයි.
කෙසේ නමුත් දැන් පෙනෙනා ලෙසට එම අනුමානයද වැරදී ගොස් තිබේ. සැබැවින්ම හඳුන්වා දෙන ඇමසන් කැමරාව වන Amazon Echo Look උපාංගය මගින් සිදුකරන්නේ ඔබේ ඇඳුම් විලාසිතා සම්බන්ධ තත්‍යාසන්න උපදේශකවරයා ලෙසින් ක්‍රියාත්මක වීමයි.
සරලවම පවසන්නේ නම් Amazon Echo Look උපාංගය මගින් ඔබේ ඡායාරූපයන් ගෙන, ඔබේ පුද්ගලික විලාසිතා ඡායාරූප එකතුවක් සාදමින්, ඔබට හොඳින්ම ගැළපෙන ඇඳුම් විලාසිතාවන් සම්බන්ධයෙන් උපදෙස් ලබාදීමට කටයුතු කරනු ඇත.
අනෙකුත් නවීනතම ඇමසන් නිෂ්පාදනවල මෙන්ම මෙහිද ඇලෙක්සා තත්‍යාසන්න සහකරුවාගේ සහාය ලබාගෙන තිබේ. වෙනත් ලෙසකින් පවසන්නේ නම් ඔබට මෙය හඬ විධානයන්ගෙන් පාලනය කිරීමට පමණක් නොව, හඬ විධානයන් සමගින් ඇලෙක්සා හා සන්නිවේදනය කිරීමටද හැකිවනු ඇත.
මෙහි ස්ථාපනය කළ LED ෆ්ලෑෂරයන් හතරක් තිබෙනා අතර, ඔබට හඬ විධානයන්ගෙන් මෙම කැමරාව ක්‍රියාත්මක කර හොඳින් ආලෝකමත් වූ ඡායාරූප ගැනීමට හැක. එසේම මෙහි depth-sensing සෙන්සරයක්ද තිබෙනා බැවින්, පසුතලය බොඳ කර ඔබේ පැහැදිලි ඡායාරූපයන් ගැනීමට හැකියාව මෙයට ඇත.
දැන් මේ සමගින් පැමිණෙන ස්මාට්ෆෝන් යෙදුම මගින් ඔබට විවිධ විලාසිතාවන් සංසන්දනය කරමින්, වඩාත් ගැළපෙන පෙනුමක් තෝරාගැනීමට සහාය ලබාදෙනු ඇත. මේ සඳහාම නිර්මාණය කළ ඇල්ගොරිදමයක්ද මෙම යෙදුමේ තිබේ. ඒ මගින් ඔබට අනාගතයේදී මිලදීගත යුතු ඇඳුම් සහ පැලඳුම් විලාසිතා සම්බන්ධයෙන්ද යෝජනා ඉදිරිපත් කරනු ඇත.