බෞද්ධයන් වූ අප සිත චංචල වූ අවස්ථාවක එසේත් නැතිනම් අපට යම් කරදරයක් වූ අවස්ථාවක පිහිටක් ලබා ගැනීමටත් නිරන්තරයෙන් යන්නේ විහාරස්ථානයක බෝධීන් වහන්සේ අසලටය. බෝධීන් වහන්සේ අසලට ගිය විට නිරායාසයෙන්ම අපේ සිතට සැනසිල්ලක් ලැබෙන අතර ගතට මහත් සිසිලසක් දැනී අපේ සිත සන්සුන් වේ. ඉතා රමණීය පරිසරයක පිහිටි ඉතා අලංකාර බෝධීන් වහන්සේ නමක් වැඩසිටින විහාරස්ථානයකි කිරින්ද අරාවත්ත ශ්‍රී බෝධිරුක්කාරාමය.
වැලිමඩ බොරලන්ද මාර්ගයේ ගමන් කර බොරලන්ද නගරයෙන් හපුතලේ මාර්ගයේ කිලෝමීටර් පහක් පමණ ගමන් කර කිරින්ද හන්දියෙන් දියතලාව මාර්ගයේ මීටර් දෙසීයක් පමණ ගමන් කළ පසු කඳුගැටයක පිහිටා ඇති අතිරමණීය සිත නිවන කිරින්ද අරාවත්ත ශ්‍රී බෝධිරුක්කාරාම විහාරස්ථානයට ළඟා විය හැක. එසේ නැතිනම් දියතලාව නගරයේ සිට කිරින්ද හරහා බොරලන්ද මාර්ගයේ පැමිණීමෙන්ද මෙම විහාරස්ථානයට ප්‍රවිෂ්ට විය හැකිය.
ඉතා කුඩා ඉඩ ප්‍රමාණයක මෙම විහාරය පිහිටා ඇති අතර අරාවත්ත, පේරවත්ත, තැන්නවත්ත, රතුපස්හින්න, කිරින්ද ආදී ගම්මානවල දායක දායිකාවන් මෙම විහාරයට අයත් දායක ගම්මාන වේ. වසර 150 ක් පමණ පැරණි බෝධීන් වහන්සේ නමක් වැඩසිටින මෙම විහාරස්ථානය බෝධිඝරයක් සහිතය. මෙම බෝධීන් වහන්සේ නිසා මෙම විහාරය ගොඩනැගී ඇති බව විහාරාධිපති නිකපොත සුමනසාර හිමියෝ පැවසූහ.
මෙම විහාරස්ථානය සම්බන්ධව අප සමග අදහස් දැක්වූ විහාරාධිපති හිමියෝ,
'මෙම ස්ථානයේ මීට පෙර පැවතියේ මෙම බෝධීන් වහන්සේ පමණයි. මේ අවට ගම්මානවල ජනතාව මේ ස්ථානයේ පුදපූජා දෛනිකව පැවැත්වුවා. මම මේ ස්ථානයට නිරන්තරයෙන් පැමිණියා මේ ස්ථානයේ පැවැත්වෙන ආගමික වැඩසටහන්වලට සහභාගි වීමටය. පසුව ගම්වාසීන්ගේ ඉල්ලීම අනුව මම මේ ස්ථානයේ වැඩ වාසය කළා. කුඩාවට සාදාගත් සංඝාවාසයක මම වැඩ සිටියා. ගම්මානයේ දායකයන්ගේ සහාය මත අපි මේ ස්ථානය විහාරයක් වශයෙන් සංවර්ධනය කරන්න පටන් ගත්තා. මෙම බෝධීන් වහන්සේ වසර එකසිය පනහකට පමණ පෙර රෝපණය කළ එකක්. මෙම බෝධින් වහන්සේගේ පිහිට ලබාගැනීමට විශාල පිරිසක් දෛනිකව පැමිණෙනවා. එලෙස එන අයගේ ලොකු විශ්වාසයක් තියෙනවා මෙම බෝධීන් වහන්සේගේ ලොකු හාස්කමක් තියෙනවා කියලා. දැනට අපි මෙම විහාරයේ විහාර මන්දිරයක් සහ චෛත්‍යයක් ඉදිකිරීම ආරම්භ කරලා තියෙනවා.
විහාරය සඳහා තිබෙන කුඩා ඉඩ ප්‍රමාණයේ තමයි අපි මේ සියල්ල කරන්නේ. ඉදිකිරීම් සඳහා විශාල මුදලක් වැයවෙනවා. ගමේ දායකයන්ට මේ වියදම් දරා ගන්න අමාරුයි. මම බෞද්ධ ජනතාවගෙන් ඉල්ලන්නේ පුළුවන් නම් මේ විහාරයේ සංවර්ධන කටයුතු සඳහා දායකත්වයක් දරන්න කියලා. මේ විහාරයට ඇවිත් මේ සුන්දරත්වය හා බෝධින් වහන්සේගේ ආශීර්වාදය ලබාගන්න කියලත්. සවස් කාලය වනවිට බොහෝ දෙනා බෝධීන් වහන්සේ අසලට පැමිණෙන්නේ දේවතා එළි බැලීමට. මම අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ අධ්‍යාපනය ලබන ගමන් තමයි මේ සියලු කාර්යයන් කරන්නේ* යැයිද පවසා සිටියහ.
ඉතා අලංකාර පරිසරයක පිහිටා ඇති ගොඩනැගෙමින් පවතින මෙම විහාරස්ථානය නරඹා එහි සංවර්ධන කටයුතු සදහා ඔබටත් දායක විය හැකියි. මේ පිළිබඳ වැඩි විස්තර විහාරාධිපති හිමි (072-9591813) ඇමතීමෙන් ලබා ගත හැකිය.
- වැලිමඩ - කුමාරගේ