2018 නව වසර ආරම්භ කරන අද දිනය තුළම දුරුතු පුර පසළොස්වක පොහෝ දිනය යෙදී තිබේ. මෙම උතුම් පොහෝ දිනයේදී නව වසර සාර්ථක කරගැනීමට අවශ්‍ය ධර්ම කරුණු ජීවිතයට ළඟා කරගත යුතු ආකාරය පිළිබඳ පදහදා දෙමින් මෙවර ධර්ම දේශනය සිදුකරනු ලබන්නේ ගංගාරාම විහාරවාසී පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජී ස්වාමීන්වහන්සේ විසිනි.
නමෝතස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස,
මත්තා සුඛ පරිච්චාගා
පස්සෙචෙ විපුලං සුඛං
තජෙමත්තා සුඛං ධීරො
සම්පස්සං විපුලං සුඛං’ ති..
ශ්‍රද්ධා සම්පන්න පින්වතුනි,
නව වසරේ පළමු දිනයේම උතුම් පුර පසොළාස්වක පොහොය දිනයක් යෙදී තිබීම ඉතාම වැදගත්. අද සිටම ජීවිතයේ සාර්ථකත්වය වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට එය ඉවහල් වේවි. මා ඉහතින් සඳහන් කළේ උතුම් ධම්මපදයේ එන ගාථා රත්නයක්. මෙහි මූලික අදහස නම් මේ ලෝකයේ ඥානවන්තයෙක් ජීවිතය තේරුම්ගන්නවා. ඔහු සොයන්නෙ තමාගේ ජීවිතය සැපවත් කරගන්නෙ කෙසේද කියා. හොඳම සැපවත් මාර්ගය කුමක්ද? ඒ සඳහා සුළු සැපතක් අත්හරිනවා. හොඳ සැපතක් ලැබෙන බව දන්නවා නම් නුවණැති තැනැත්තා හැමවිටම ලොකු සැපත ලැබීමේ බලාපොරොත්තුවෙන් පුංචි සැපත අත්හැර දානවා කියන අදහසයි. එවිට තථාගත ධර්මය නොදන්න අය වැරදි අදහසක් ගන්නත් පුළුවන් වැඩි වාසිය අනුව කටයුතු කරනවා කියා. පින්වත්නි, මෙතැනදී අදහස් කරන්නෙ පුංචි දේ අත්හැර දමලා ලොකු දෙයක් ගන්න එක නොවෙයි. මේ ලෝකය දැනගන්න කැමැති ඥානවන්තයා හැමවිටම දුකෙන් මිදීම ගැනයි හිතන්නෙ. දුකින් මිදීම සඳහා අත්හැරීම පුරුදු කරන්න වෙනවා.
මේ ලෝක ධාතුවේ නියම සැපත ලෝකෝත්තර සැපතයි. හෙවත් නිවනයි. මාර්ග ඵල සිතෙන් ලැබෙන සැපතයි. නියම සැපත ලබන්නෙ සසර දුක ඇති කරවන කෙලෙස් සංසිඳීමෙන්, ඒ ලෝකෝත්තර සිත් පරම්පරාව සෝවාන් මාර්ගයේ සිට ඉහළටයි තිබෙන්නෙ. ඊළඟට අකනිටා බ්‍රහ්ම ලෝකයේ සිට පහළට සැලකූ විට යට තිබෙන සිත් පරම්පරාව පිළිබඳ අවධානය යොමුකළ හැකියි. ලෞකික සම්පත්වලින් ශ්‍රේෂ්ඨතම සම්පත්තිය තමයි බ්‍රහ්ම ලෝක සම්පත්තිය. අරූපාවචර සම්පත්තියට වඩා පහළ සම්පත්තිය රූපාවචර සම්පත්තියයි. ඊට වඩා පහළ සම්පත්තිය සදෙව් ලෝ සම්පත්තියයි. සදෙව් ලෝ සම්පත්තියෙන් පසුව මනුෂ්‍ය ලෝක සම්පත්තිය. අනෙක් ලෝක සතරම අපාය දුකයි.
පින්වත්නි, ඒ නිසා නුවණ තිබෙන සත්ත්වයා හැමවිටම හිතන්නේ මේ සසර දිගයි යනුවෙන්. මේ සතර අපායෙන් නිදහස් වන්නට නම් බුදුබණ අසන තිසරණ සරණ ගිය පින්වතුන් මේ බුදුබණ පිළිපදින්න අවශ්‍යයි. ඒ දුකින් මිදෙන්න, ආගමික ජීවිත ගතකරන්න. ධර්මය නොදත් පුද්ගලයා සතර අපායේ වැටෙනවා. එයින් නිදහස් වෙන්න සිතන ඥානවන්තයා මහත් සැපතක් බලාපොරොත්තුවෙන් කුඩා සැපත අත්හරිනවා. නිවනට පත්වෙන්න පුංචි සැපත අත්හරිනවා. මෙතැන තිබෙන්නේ හොඳ දර්ශනයක් සහ හොඳ තේරුමක්. අපේ ජීවිතවලින් අපි පුංචි සැපත අත්හැරියොත්, ඊට වඩා ලොකු සැපතක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. අපේ ඉලක්කය විය යුත්තේ පංච කාම සම්පත් ලැබීම නොව මේ සතර අපායෙන් නිදහස් වීමයි. සතර අපායෙන් නිදහස් වෙන්න පුංචි සැපත අත්හරින්න ඕන. අප ශාන්ත වූ ප්‍රණීත වූ නිවන් සැපත බලාපොරොත්තු විය යුතුයි.
මේ ගාථා රත්නය දේශනා කළේ මෙන්න මේ කාරණය නිසා. ලිච්ඡවී රජ දරුවන් සිටි විශාලා මහනුවරට විපතක් සිදුවුණා. මුළු රටේම දුර්භික්ෂ බියක් හටගත්තා. අමනුෂ්‍ය බියක් ඇතිවුණා. ඒ වගේම නගරයේ හැමතැනම ලෙඩරෝග හටගත්තා. ඒ නිසා රෝග බියත් හටගත්තා. මුළු විශාලා මහනුවරම තුන්බියෙන් යට වී ගියා. විශාලා මහනුවර ජනයා රජ්ජුරුවන්ගෙන් ඉල්ලා සිටියා අපි මේ මේ ආකාරයේ කරදරවලින් පෙළෙනවා, ඒ කරදරවලින් අපව බේරගන්න කියා. මෙය විසඳීම සඳහා රජතුමා තිලෝගුරු බුදුපියාණන් වහන්සේ වෙත ඇරයුම් කළා. සම්බුදු පියාණන් වහන්සේ ආරාධනාව පිළිගත්තා. උන්වහන්සේ එහි වැඩමවා රතන සූත්‍රය දේශනා කළවිට තුන්බිය දුරුවන බවත්, අසූ හාරදහසක් සත්ත්වයන් අමා මහ නිවන් දකින බවත් බුදු ඇසින් දුටුවා.
බුදුරජාණන් වහන්සේ නගරයට වඩින විටම ආනන්ද තෙරණුවන්ට රතන සූත්‍රය ඉගැන්වූවා. මහා සංඝරත්නයත් සමග ගොස් විශාලා මහනුවර තුන්යම් රාත්‍රියක් මුළුල්ලේ පිරිත් සජ්ඣායනා කරමින් පිරිත් පැන් ඉසින්න යැයි පැවසූවා. මේ පිරිත් පැන් ඉසින විට අමනුෂ්‍යයන්, යක්ෂයන්, භූතයන් සියල්ලම ඉවත්ව ගියා. රෝගී අයට මේ පිරිත් පැන් බිඳුවක් ඇඟේ වදිනවිටම සම්පූර්ණ නිරෝගීතාව ලැබී සැනසුණා. මෙසේ සුවපත්භාවය සලසා අවසානයේදී අසූහාරදහසක් සත්ත්වයන්ට අමා මහ නිවන් සුවය ලබාදෙමින් ධර්මය දේශනා කළා.
බුදුරජාණන් වහන්සේ නැවත වැඩමවාගෙන එනවිට එදා ඒ ආශ්චර්යය දුටු මහා සංඝරත්නය ප්‍රකාශ කරනවා, “අහෝ බුද්ධගුණය අනන්තයි, ලොවුතුරා බුදුරජාණන් වහන්සේගේ ගුණ තෙද අද අපි දුටුවා* කියා. බුදුරජාණන් වහන්සේ එතැනට වැඩම කළා. වැඩම කර විමසුවා මහණෙනි, ඔබ කතා කරමින් සිටියේ කුමක්ද කියා, ස්වාමීනි ඔබ වහන්සේ පෑ පුද පෙරහර මීට පෙර කවරදාවත් අප දුටුවේ නැතැයි කියා භික්ෂූන් වහන්සේලා ප්‍රකාශ කළා. මහණෙනි, මේ දෙවියන්ගේ බලයක් නොවෙයි, බ්‍රහ්ම බලයක් නොවෙයි. මෙය මා බෝධිසත්ව කාලයේදී සිදුකළ පරිත්‍යාග ඵලවිපාකයක්. එසේ වදාරමින් ඒ කුසලය විස්තර කළා.
'මහණෙනි, පොඩි සැපක් අත්හැරියා, මහත් සැපක් බලාපොරොත්තුවෙන්. බුද්ධ රාජ්‍යය අපේක්ෂාවෙන් එදා පුංචි සැපතක් අත්හැරියා. කුමක්ද ඒ කුඩා සැපත? මහණෙනි, මම පෙර කලෙක බ්‍රාහ්මණයකු වී උපන්නා. මගේ පුතා අවුරුදු දහතුනේදී ඉගෙනගන්න ඇරියා. බ්‍රාහ්මණ කුමාරයා, මගේ පුතා සුසීම හරි දක්ෂයි ඉගෙන ගන්න. වේද ශාස්ත්රයේ අවසානය සොයාගිය කුමරු, පසේ බුදුවරුන් පිරිසක් හමුවන්න ගියා.
එහිදී පසේ බුද්ධ රාජ්‍යය ලබාගත්තා. නොබෝ කලකින් පිරිනිවන් පෑවා. පසේ බුදුවරුන් උන්වහන්සේගේ කය ආදාහනය කළා. චෛත්‍යයක් හැදුවා. මා ගියා මගේ පුතා සොයන්න. එවිට දැනගන්න ලැබුණා මෙන්න මේ විධියේ තැනැත්තෙක් අනන්තය හොයන්න බැරුව, කෙළවර හොයන්න බැරුව මෙහි පැමිණියා. කෙළවර සොයා පසේ බුදු වුණා. අනතුරුව පිරිනිවන් පෑවා, ආදාහනය කළා, අන්න චෛත්‍යය කියා ආදාහන චෛත්‍යය පෙන්නුවා. මම හඬමින් මළුවට ගොස් තණකොළ ඉවත්කර මළුව පිරිසුදු කළා. මළුවේ සුදු වැලි ඇතිරුවා. මගේ සළුව සෝදලා ධජයක් කළා. වනමල් ගෙනැවිත් මළුව වැසුවා. ධාතු චෛත්‍යයට පිදුවා. මගේ ළඟ තිබුණු පන්කොළ කුඩයත් මා චෛත්‍යයට පිදුවා සේසතක් වේවා කියා. මම පුංචි පරිත්‍යාගයක් කළා. මා ඒ සැප අත්හැරියා. මට අඳින්න කිසිවක් නෑ නේද කියා මා උතුරුසළුව තබාගත්තෙ නෑ. මගේ තුන්හිතෙන්ම මා අත්හැරලා පිදුවා. මා අව්වෙ යනවිට කුඩයක් ආශ්චර්යයි නේද කියා මා සිතුවෙ නැහැ. මේ බුදුබව පතාගෙන මම එය පූජා කළා. වනමල් පූජා කළා. මගේ දෝතින්ම පැන් ඉස්සා. ඒ තමයි මම කළ කුසලය. අද මේ රජවරුන්, දෙවිවරුන්, බ්‍රහ්මයන් මේ මහ පොළොව මල්වලින් වැසුවා. අකනිටා බ්‍රහ්ම ලෝකය දක්වා අද ධජ පතාක, සේසත්, මුතුකුඩ සියල්ල එසවී තිබෙන්නේ එදා මා කළ ඒ කුසලයේ විපාකයක් වශයෙන්*.
පින්වත්නි, ඥානවන්තයා හැමවිටම කුඩා සැපත අත්හරිනවා. පංච කාම සම්පත්තීන් අත්හැර උතුම් නිවන් සැප ප්‍රාර්ථනා කරගන්න ඕන. යම් පින්කමක් කරගෙන පින්කමේ කුසල් නිවන් පිණිසම හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කරගන්න. &බුදුවීමෙන්ම සත්ත්වයන්ට සත්‍යය අවබෝධ කරවන්නෙමි. මේ සංසාරයෙන් මම මිදී සසර දුකින් අන් සත්ත්වයනුත් මුදවමි.* මහා බෝධිසත්ත්වයන් වහන්සේගේ උතුම් ප්‍රාර්ථනාව වූයේ එයයි. සංසාරයේ තිබෙන්නා වූ දුක් මහත් විශාලයි. ඒ නිසා කුඩා සැප අත්හැර උතුම් වූ නිවන් සැපම ප්‍රාර්ථනා කරගන්න.
ඥානය, වීර්යය, ප්‍රඥාව මෙහෙයවා අත්හැරීම පුරුදු කළ යුත්තක්. එය නිවනට මගයි. නිවන ශ්‍රේෂ්ඨයි. සතර අපායේ දුක බොහොම තදයි. ඔබ ප්‍රාර්ථනා කළ යුත්තේ නිවන් දකින්නයි. ඒ සඳහා විදර්ශනා භාවනාව පුරුදු කළ යුතුයි. අන්න ඒ තැනැත්තාට පුළුවනි, විශාල ආශ්චර්යයන් වෙනුවෙන් කුඩා සැපත අත්හරින්න. ඇතැම් අය භාවනාවට අකමැතියි. භාවනාව පුරුදු කරන්න ඕන. අන්න එවිට ධර්මය පුරුදු වෙනවා
ස්ථිර සැපත නිවන් සැපතයි. නිවන සංඛත නෑ. අසංඛතයි, ස්ථිරයි. ඒ නිසා ඔබ මේ නිවන ලබන්නට කුඩා සැප අත්හරිමින් කටයුතු කරන්න. ශාන්ත ප්‍රණීත අමා මහ නිවන් සැපතම ලැබේවා කියා ප්‍රාර්ථනා කරගන්න. තෙරුවන් සරණයි! ඔබ සැමට සුබ නව වසරක් වේවා.
සටහන - චාමර සම්පත් / ඡායාරූප - ඉසුරු පෙරේරා