හිටපු අගමැතිවරයෙක් වන දි.මු ජයරත්න මහතා මහනුවර පෞද්ගලික රෝහලකදී අද (19) අභාවප්‍රාප්ත වී තිබේ.
දි.මු ජයරත්න මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරයකු ලෙස මියයන තුරුම කටයුතු කළේය.
ශ්‍රී ලංකාවේ 14 වැනි අග්‍රාමාත්‍යවරයා වූ දි.මු ජයරත්න මහතා මියයන විට 90 වැනි වියෙහි පසුවිය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙහි 13 වන සාමාජිකයෙකු වන දි.මු ජයරත්න මහතා පාර්ලිමේන්තුවට මුලින්ම තේරී පත්වූයේ 1970 වසරේ දීය.
1993 වසරේ පිහිටුවන ලද පොදුජන එක්සත් පෙරමුණේ ආරම්භක මහලේකම්වරයා වූ දි.මු ජයරත්න මහතා මියයන තුරුම එම තනතුරද හෙබවීය.
ජයරත්න මහතා මුල්වරට කැබිනට් මණ්ඩලයට ඇතුළත් වූයේ 1994 වසරේදී පිහිටුවනු ලැබූ, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ රජය යටතේ ඉඩම්, කෘෂිකර්ම හා වන සංරක්ෂණ අමාත්‍යවරයා ලෙස පත්වෙමිනි.
ඉන් අනතුරුව දි.මු ජයරත්න මහතා කෘෂිකර්ම, ආහාර සහ සමූපකාර, තැපැල්, විදුලි සංදේශ සහ උඩරට සංවර්ධන, තැපැල්, විදුලි සංදේශ, ග්‍රාමීය ආර්ථික සංවර්ධන, වැවිලි කර්මාන්ත, බුද්ධ ශාසන හා ආගමික කටයුතු ආදී අමාත්‍යධූර ගණනාවක් ද හෙබවීය.
ඔහු අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේ 2010 අප්‍රේල් 21 වැනිදාය.
ඔහු පාසල් අධ්‍යාපනය ලබා ඇත්තේ ගම්පොල පිහිටි දොළුව මහා විද්‍යාලයෙනි.
ඔහු දොළුව මහා විද්‍යාලයෙහි ගුරුවරයෙකු ලෙසින් මෙන්ම දොළුව තැපැල් ස්ථානාධිපතිවරයා ලෙස ද කටයුතු කර ඇත.
ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජීවතුන් අතර සිටි ජ්‍යෙෂ්ඨතම සාමාජිකයා ද වේ.
දි.මු ජයරත්න මහතා අනුලා යාපා ජයරත්න මහත්මියගේ ස්වාමි පුරුෂයා වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරාධ ජයරත්න මහතාගේ සහ දියණියන් දෙදෙනකුගේ පියා විය.
ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ මාමණ්ඩිය ද වේ.
ගම්පොළ, අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණය හා ආගමික මධ්‍යස්ථානය ද දි.මු ජයරත්න මහතාගේ නිර්මාණයකි. එම ස්ථානයන්හි පරිපාලනය සිදුවූයේ ද දි.මු ජයරත්න මහතා යටතේ පාලනය වූ අම්බුළුවාව පරිසර, සංවර්ධන හා සංරක්ෂණ භාරය මගිනි.
හිටපු අග්‍රාමාත්‍යවරයාගේ දේහය අවසන් ගෞරව සඳහා ගම්පොළ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.
ඩයනා උදයංගනී