කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයට අයත් සුඛෝපභෝගී රථයකට පහරදී අලාභ හානි සිදුකිරීම සම්බන්ධයෙන් අනුරාධපුරය, නිවත්තකචේතිය ප්‍රදේශයේ අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලීසිය පවසයි.
සිය ඉඩමේ කොටසක පිහිටි අමාත්‍ය පී. හැරිසන් මහතාගේ සම්බන්ධීකරණ කාර්යාලය ඉවත් කර ගන්නා ලෙස කලක සිට සිදුකළ ඉල්ලීම් පැහැර හරිමින් එහි රැඳී සිටීම හේතුවෙන් අදාළ අඹුසැමි යුවළ හා අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා ඇතුළු පිරිස අතර පෙරේදා (13දා) බහින්බස්වීමක් ඇතිව පසුව එය ගැටුමක් දක්වා වර්ධනය වී තිබේ.
එහිදී අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා ඇතුළු පිරිස තමන්ට අමානුෂික ලෙස පහර දුන් බව පවසමින් අදාළ අඹුසැමි යුවළ අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත්ව ඇති අතර, ඔවුන් මේ සම්බන්ධයෙන් එම රෝහල් පොලීසියටද පැමිණිලි කර ඇත.
මේ අතර, අදාළ අඹුසැමි යුවළ විසින් කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයට අයත් සුඛෝපභෝගී රථයකට පහරදී, අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා ගෙල බැඳ සිටි රුපියල් 275,000ක් පමණ වටිනා රන්මාලය කොල්ලකෑ බවට එම පාර්ශ්වයෙන් අනුරාධපුර මූලස්ථාන පොලීසියට පැමිණිලි කර තිබිණි.
එම පැමිණිල්ල අනුව ක්‍රියාත්මක වූ අනුරාධපුර මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශය පෙරේදා (13දා) හා ඊයේ (14දා) සැකකාර අඹුසැමි යුවළ අත්අඩංගුවට ගෙන තිබේ.
අනුරාධපුරය, නිවත්තකචේතිය පාර ප්‍ර‘දේශයේ පදිංචි 43 හැවිරිදි තිදරු මවක හා ඇයගේ සැමියා වන 47 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ අදාළ කාන්තාව පවසා සිටියේ,
"මගේ නැන්දම්මගේ තමයි ඉඩම. ඇය ජීවත්ව සිටියදී අමාත්‍යවරයාට මේ ඉඩම දුන්නා කාර්යාලයක් ඉදිකරන්න. වසර හයකින් එම කොන්ත්‍රාත්තුව අවසන් වෙනවා, නීතිඥ ලියකියවිලිවලට අනුව. මහත්තයාගේ අම්මා මියගියාට පසුව ඉඩම පර්චස් 30 බැගින් දෙකට බෙදුවා මහත්තයාගේ මල්ලිට හා මගේ සැමියාට.
දෙකට බෙදෙන්නේ කාර්යාලය මැද්දෙන්. පොරොන්දුවට අනුව පසුගිය වසරේ හත්වැනි මාසයේ කාර්යාලයෙන් ඔවුන් ඉවත් වෙන්න ඕන. නමුත් ඉවත් වුණේ නැති නිසා අවස්ථා ගණනකදී ආරවුලට පොලීසි ගියා. නමුත් පසුගිය මාස කිහිපය පොලීසියෙන් සාධාරණයක් ඉටුවුණේ නැහැ.
පසුගිය සතියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිතුමා මේ පැමිණිල්ල සමථ මණ්ඩලයට යොමුකළා. නමුත් පොලීසියට හැමදාම බොරු පැමිණිලි අරගෙන යන අමාත්‍ය පාර්ශ්වයේ කිසිම අයෙකු එහි ආවේ නැහැ. පෙරේදා (13දා) අපි සමථ මණ්ඩලයට ගිහිල්ලා නැවත නිවසට එද්දි මෙතැන රැස්වීමක් තිබුණා. ඒ අවස්ථාවේ මම ඔවුන්ට බැන්නා, රැස්වීම් තියන්න එන්න පුළුවන්, ආරවුල සමථයකට පත්කර ගන්න එන්න බැහැ කියලා.
පසුව එහි සිටි අමාත්‍ය ලේකම්වරයා ඇතුළු පිරිසක් මට පරුෂ වචනයෙන් බැණ වැදුණා. මහත්තයත් ඒ ස්ථානයට ආවා. දෙපැත්තම බහින්බස් වීමක් සිදුවුණා. හෘද සැත්කමක් කරල ඉන්න මට කිහිප දෙනෙකු වටකර ගෙන ලෑල්ලකින් ගැහුවා. මහත්තයටත් ගැහුවා. ලේකම්වරයා රථය වෙනත් තැනක නතර කරලා ඇවිල්ලා අපි සමග රණ්ඩු වුණා. මේ අවස්ථාවේ ඔවුන් ගඩොල්වලිනුත් ගැහුවා. මගේ පිටට, අත්වලට ගල් වැදිලා තුවාලයි. මහත්තයටත් තුවාලයි.
ඔවුන් ගහපු ගඩොල් කැබැල්ලක් ජීප් රථයේ වැදිලා එහි වීදුරුවකට හානි සිදු වුණා. අපි රථයට ගල්ගහලා, රන් මාලයක් කොල්ලකෑවා කියලා පොලීසියට පැමිණිලි කරලා. මේ සිද්ධිය අසල වූ ආරක්ෂක කැමරා පද්ධතියේ තියෙනවා. ඒක හරියටම බැලුවා නම් පොලීසියට හරියටම නීතිය ක්‍රියාත්මක කරන්න තිබුණා. නමුත් එහෙම දෙයක් නෑ, අපි දෙන්නවම කඩිනමින් පොලිස් අත්අඩංගුවට ගත්තා.
දැන් සී.සී.ටී.වී. දර්ශනත් අතුරුදන් වෙයි. නැත්නම් රෙකෝඩ් වෙලා නැහැ කියයි. හරියට නීතිය ක්‍රියාත්මක කරන්න. කාර්යාලයට වියදම් කරපු ලක්ෂ 15 කැපිලා නැහැ කියනවා. ඒ මුදල් සියල්ල කැපිලා අවසන් වෙලා තියෙන්නේ. අපි අත්සන් කරපු ලියවිල්ලත් හංගගෙන ඉන්නේ. වංචාවෙන් දිනන්න තමයි ඇමතිවරයා ඇතුළු පිරිසගේ උත්සාහය" යනුවෙනි.
මේ සම්බන්ධයෙන් අප අනුරාධපුර කොට්ඨාස භාර පොලිස් අධිකාරී තිළිණ හේවාපතිරණ මහතාගෙන් විමසීමක් කළ අතර, එහිදී හෙතෙම පවසා සිටියේ, "අමාත්‍යාංශ වාහනයකට අලාභහානි කරලා තියෙන්නෙ. එම අලාභ හානියට තමයි ඔවුන් කඩිනමින් අත්අඩංගුවට ගත්තේ. රන් මාලය කොල්ලකෑව කියන එක නම් බොරුවක්. ඒ පාර්ශ්වයෙන් තාම පැමිණිල්ලක් නෑ. අපට පාර්ශ්ව පිළිබඳ වැඩක් නැහැ. අපි දෙපාර්ශ්වයටම නීතිය ක්‍රියාත්මක කරනවා" යනුවෙනි.
කෙසේ වෙතත් අඹුසැමි යුවළට පහරදීම සම්බන්ධයෙන් ඊයේ (14දා) සවස් වනතුරු අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා ඇතුළු පාර්ශ්වයේ කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොතිබිණි.
එප්පාවල තිසර සමල්