වර්තමාන මුස්ලිම් දේශපාලනඥයින් සිංහලෙන් සංහිදියාව ගැන කථා කර දෙමළින් ජාතිවාදය වපුරන බවට චෝදනාවක් ඇතැයි විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය. එසේම මේ වන විට සිදුව සෑම දෙයක්ම ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනපතිවරණය සඳහා සම්බන්ධ බවත් ඔහු සඳහන් කළේය.
අද (11දා) විජේරාම ඔහුගේ නිල නිවසේදී පැවැති දේශනයකදී ඔහු මේ බව සඳහන් කළේය.
“මේ මොහොතේ සිදුවෙමින් පවතින හැම දෙයක්ම තව මාස කිහිපයකින් පවත්වන්න නියමිත ජනාධිපතිවරණයත් එක්ක කිට්ටුවෙන් බැඳිලා තියෙන බව අපි හැමෝම තේරුම් ගන්න ඕන.
වර්තමාන ආණ්ඩුවට ඕන කරන්නෙ 2015 ට කළින් නොයෙක් උප්පරවැට්ටි යොදලා තමන් වටේට සංවිධානය කරගත් මුස්ලිම් ඡන්ද පදනම ඊළඟ ජනාධිපතිවරණයටත් ඒ විදියටම පවත්වගන්න.
දැන් බැඳුම්කර වංචාව ගැන මුකුත් කතා නෑ, රටේ ණය අර්බුධය ගැන කතා නෑ. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පස්සෙ තාමත් තුවාල කරුවන් ඉස්පිරිතාල වල ඉන්නවා, ඒගොල්ලනුත් අමතකයි. අන්තවාදීන් ගැන මුකුත් කතාවක් නෑ. සෝදිසි කිරීමුත් නැවතිලා, ආයුධ හමුබවෙන්නෙත් නෑ.
අත්අඩංගුවට ගත්ත ත්‍රස්තවාදී සැකකරුවන් ගැන ගන්න පියවර ගැනත් මුකුත් කතාවක් නෑ. ඇතිවූ මේ උණුසුමත් එක්ක ආණ්ඩුව රටේ දේපොල විකුණන්නත් උත්සාහ කරනවා. එක ගලෙන් කුරුල්ලෝ සීයක් විතර මරලා.
අද ඉන්න මුස්ලිම් දේශපාලන නායකයෝ මුස්ලිම් ඡන්ද මත විතරක් රඳා පවතින නිසා ඒගොල්ලොන්ට ඒ ප්‍රජාව තුළ ඉන්න අන්තවාදීනුත් අවශ්‍යයි. පසුගිය වකවානුව පුරාම මුස්ලිම් අන්තවාදය මේ රට තුළ වර්ධනය වුණේ ඒකට විරුද්ධ වෙන්න දේශපාලන නායකත්වයට බැරි වුණ, බිය වුන නිසයි. මුස්ලිම් දේශපාලනඥයෝ සිංහලෙන් සංහිඳියාව ගැන කතා කරලා දෙමළෙන් ජාතිවාදය වපුරනවා කියලා ලොකු චෝදනාවක් තියෙනවා.”